චීනයේ උතුරු දිග ෂැන්ෂි (Shanxi) පළාතේ පිහිටි ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතලේ සිදුවූ දැවැන්ත ගෑස් පිපිරීමකින් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
2009 වසරෙන් පසු චීනයේ වාර්තා වූ දරුණුතම පතල් අනතුර ලෙස මෙම සිද්ධිය සැලකෙනවා.
පසුගිය සිකුරාදා රාත්‍රී 7.29ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර, එම අවස්ථාවේදී පතල තුළ සේවකයන් 247 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති බව සඳහන්. අනතුරෙන් පසු පුද්ගලයන් 100කට අධික පිරිසක් බේරාගෙන ඇති අතර, සිය ගණනක් ගලවා ගැනීමේ නිලධාරීන් ස්ථානය වෙත යොදවා තිබුණා.
චීන ජනාධිපති Xi Jinping ප්‍රකාශ කර ඇත්තේ තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සහ දිවි ගලවාගත් අය සොයා ගැනීම සඳහා උපරිම උත්සාහ ගත යුතු බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් පවත්වන බවත්, වගකිව යුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදෙන බවත් චීන රාජ්‍ය සභාව ප්‍රකාශ කර තිබෙනවා.
ගලවා ගැනීමේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තුවාල ලැබූ 128 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
විෂ සහිත වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බව චීන මාධ්‍ය සඳහන් කළත්, එම වායුව කුමක්ද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ. කෙසේ වෙතත්, පතල තුළ කාබන් මොනොක්සයිඩ් වායුවේ මට්ටම අධික ලෙස ඉහළ ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ කම්කරුවෙකු වන වෑන් යොං රාජ්‍ය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, “පිපිරීම සිදුවන විට ශබ්දයක් ඇසුනේ නැහැ. නමුත් හදිසියේ දුමාරයක් පෙනුණා. ගිනි පුපුරුවලදී දැනෙන සල්ෆර් ගඳක් තිබුණා. මම අනිත් අයට දුවන්න කියලා කෑගැහුවා. අපි දුවනකොට මිනිස්සු දුමෙන් වැටෙනවා දැක්කා. ඊට පස්සේ මටත් සිහි නැතිවුණා,” යනුවෙන්.
මෙම පතල පවත්වාගෙන යන ටොංෂෝව් සමූහයේ (Tongzhou Group) කළමනාකාරීත්වයේ කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.
2024 වසරේදී චීන ජාතික පතල් ආරක්ෂණ අධිකාරිය විසින් මෙම ලියුෂෙන්යු පතල “දැඩි ආරක්ෂක අවදානම් සහිත පතලක්” ලෙස නම් කර තිබූ අතර, 2025 වසරේදී ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඩුවම් දෙකක්ද ලබාදී තිබුණා.
ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා වී ඇත්තේ පිපිරීම සිදුවූ ස්ථානය අසල ජලය එකතුවීම සහ පතලේ සැබෑ තත්ත්වයට නොගැලපෙන සැලසුම් සිතියම් හේතුවෙන් බව වාර්තා වෙනවා.
ෂැන්ෂි පළාත චීනයේ සමස්ත ගල් අඟුරු නිෂ්පාදනයෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සපයන ප්‍රදේශයක් වන අතර, පසුගිය දශක කිහිපය තුළ චීනයේ පතල් අනතුරු රැසක් වාර්තා වී තිබෙනවා.
2023 වසරේ අභ්‍යන්තර මොංගෝලියාවේ විවෘත පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 53 දෙනෙකු මියගිය අතර, 2009 වසරේ හෙයිලොංජියැං පළාතේ සිදුවූ පතල් පිපිරීමකින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.



