30 C
Galle

“ලක්ෂ දෙකක් දෙන්නම්, වත්තෙන් පිටවෙලා යන්න” – බද්දේගම හැම්මෑලිය වත්තේ මලයහ ජනතාවගේ ඉරණම?

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැම්මලිය වත්තේ පදිංචි ජනතාව අද වන විට ජීවත්වන්නේ දැඩි බියකින් සහ චකිතයකිනි. දශක අටකට වැඩි කාලයක්, එනම් පරම්පරා පහක් තිස්සේ මේ බිම තම ලේ කඳුළින් හා දහඩියෙන් තෙත් කළ මේ මලයගම් දෙමළ ජනතාව, අද තමන් උපන් බිමෙන් අවලංගු කාසි මෙන් ඉවතට විසිවීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙය හුදෙක් ඉඩම් ආරවුලක් නොවේ, පරම්පරා ගණනාවක් තිස්සේ එකම භූමියක ජීවත් වූ, එහි වැඩ කළ, එහි දරුවන් හැදී වැඩුණු අසරණ මිනිසුන් පිරිසකගේ පැවැත්ම පිළිබඳ අරගලයකි.

අතීතයේ සෙවණැලි සහ අහිමි වූ අයිතීන්

1940 දශකයේ මැද භාගයේදී, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි වතු කම්කරුවන්ට අයත් මොවුන් එදා සිට අද දක්වාම හැම්මලිය වත්ත තම වාසභූමිය කරගෙන ජීවත්වූහ. ඔවුන්ගේ ජීවිතය, රැකියාව, සමාජ සබඳතා සහ මතක සියල්ල බැඳී ඇත්තේ මෙම භූමිය සමඟය.

මුලින් අක්කර 77 1/2ක්ව පැවති විශාල වත්ත අද වන විට අක්කර 06ක කුඩා බිම් කඩකට සීමා වී ඇත්තේ පාලකයන් විසින් කාලයෙන් කාලයට ඉඩම් කොටස් කර විවිධ ව්‍යාපාරිකයන්ට විකිණීම නිසාය. අද වන විට මෙම භූමියේ පවුල් 09කට අයත් පුද්ගලයන් 25 දෙනෙකු පමණ ජීවත් වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් ජීවත් වන්නේ දශක ගණනාවකට පෙර ඉදිකළ, වර්ෂාවකදී ජලය කාන්දු වන, මූලික පහසුකම් පවා අවම අබලන් ලැයිම් කාමරවලය.

ඉතිරිව ඇති භූමිය ද විකිණීමේ උත්සාහයන් සමඟ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සූක්ෂ්ම පීඩනයන් දිනෙන් දින ඉහළ යමින් පවතී. කිසියම් මුදලක් ලබාදී වෙනත් වත්තකට යන ලෙස වත්මන් අයිතිකරුවන්ගෙන් යෝජනා මොවුන් වෙත ඉදිරිපත් වුවද, පදිංචිකරුවන්ගේ ස්ථාවර අදහස වී ඇත්තේ තමන් ජීවත් වූ භූමිය අත්හැර වෙනත් ස්ථානයකට යාමට නොහැකි බවයි. පරම්පරා ගණනාවක උරුමය සොච්චම් මුදලකට පාවා දීමට ඔවුහු සූදානම් නැත.

අභිමානයෙන් ජීවත් වීමේ පුංචි සිහිනය

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පරම්පරා පහක් ජීවත් වූ මේ බිමෙන් පවුලකට අවම වශයෙන් පර්චස් 15ක ඉඩම් කොටසක් නීත්‍යානුකූල ඔප්පුවක් සහිතව ලබා දෙන ලෙසයි. එමගින් තම දරුවන්ට උරුම කර දිය හැකි, ගෞරවයෙන් යුතුව ජීවත් විය හැකි ස්ථිර නිවසක් ගොඩනැගීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි.

ඒ සම්බන්දව අදහස් දක්වමින් සන්දනම් වල්ලිඅම්මා (58) මෙසේ පවසයි,

“මගේ අම්මලා තාත්තලත් මේ වත්තේ තමයි ජීවත් වුණේ, දැන් ඉන්නේ අපේ පස්වෙනි පරම්පරාව. මමත් මේ වත්තෙම තමයි වැඩ කළේ, පසුගිය දිනක මේ වත්තේ අයිතිකරුවන් ඇවිත් අපිට කිව්වා මෙතනින් ඉවත් වෙන්න කියලා, අපිට යන්න තැනක් නෑ, ඉඩම් ගන්න ගෙවල් හදන්න සල්ලි නෑ. අපේ දරුවන් පාසල් යනවා, මෙතනින් ගියොත් මහපාරේ තමයි ඉන්න වෙන්නේ, අපි ඉල්ලන්නේ අපි දැනට ඉන්න මේ ස්ථානයෙන්ම ඉඩම් කොටසක් වෙන් කරලා දෙන්න කියලයි.”

අර්ථසාධකයවත් නෑ

වත්තේ පදිංචිව  වසර ගණනාවක් වත්තේ සේවය කළ ද කිසිදු සේවකයෙකුට EPF හෝ ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හෝ ගෙවා නොමැත. ඔවුන්ගේ සේවය කිසිදා ස්ථිර කර ද නැත. මුල් කාලයේ වැටුප් වෙනුවට වියළි සලාක ලබා ගනිමින් පවා ඔවුන් මේ වත්ත රැකගත්තේ එය තම උරුමය යැයි සිතාය. අනාගතය වෙනුවෙන් කිසිදු ආරක්ෂාවක් නොමැතිව ජීවිතයේ සැඳෑ සමය ගෙවා දැමීමට අද ඔවුනට සිදුව තිබේ.

වත්තේ දැනට ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා වන ගෝපාල් සන්දනම් (80) පැවසුවේ මෙවැනි කථාවකි,

“මම දිගටම මේ වත්තේ වැඩ කළේ, මුලින් තේ සහ රබර් වගාවල වැඩ කළා, පස්සේ කුරුඳු හිටෙව්වා, පෝර දැම්මා, හැම වැඩක්ම කළා. ඒත් කවදාවත් ස්ථිර මුදලක් දුන්නේ නැහැ. ඉස්සර දුන්නේ තුණ්ඩුකෑල්ලක්, අපි ඒකට මේ ලඟ තියෙන කඩෙන් බඩු ගත්තා. කවදාවත් වත්තේ වැඩ කළ බවට අපේ නමක්වත් ලකුණු කළේ නැහැ. දැන් මට වැඩ කරන්න බැහැ. අපිට අර්ථසාධකයවත් ලැබුණේ නැහැ. දැන් ඔවුන් අපිට මේ වත්තෙන් යන්න කියනවා. අපි කොහේ යන්නද?”

මෙම කතාවේ වඩාත්ම අනුවේදනීය කොටස වන්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් පවා ඔවුන්ට ලැබිය යුතු අවසන් ගෞරවය ද අහිමි වීමයි. වත්තේ පදිංචිකරුවන් දස දෙනෙකු පමණ මිහිදන් කළ කුඩා සුසාන භූමිය පවා අද වන විට විකුණා දමා තිබේ. තම මුතුන් මිත්තන් සැතපෙන බිම මතින් අලුත් වැටවල් ඉදිවන විට, ජීවත්ව සිටින ජනතාවට තමන්ගේ අනාගතය පිළිබඳ ඇති වන්නේ දැඩි සන්තාපයකි.

තර්ජනය, පීඩනය හමුවේ අත්හැර නොයන අරගලය

වත්තේ පාලන කටයුතු භාරව සිටින පුද්ගලයෙකුගෙන් වරින් වර එල්ල වන හිරිහැර හමුවේ මොවුහු තවදුරටත් අසරණව සිටිති. මීට වසරකට පමණ පෙර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් තමන්ට තවමත් පොලිසි උසාවි ගානේ රස්තියාදු වීමට සිදුව ඇති බව මොවුහු අප සමග පැවසුවේ කණගාටුවෙනි. ඔවුන් පවසන්නේ මේවා ඔවුන්ව බිය ගන්වා පන්නා දැමීමේ වැඩපිළිවෙළක කොටසක් බවයි.

සන්දනම් පුෂ්පරාණී (50) මෙසේ පවසයි,

“අපි දැන් මේ ඉන්න ලයින් කාමර අවුරුදු 110ක් විතර පරණයි, අපිට එකපාරටම මේ වත්තෙන් යන්න කියනවා, ගියාට පස්සේ රුපියල් ලක්ෂ දෙකක් පොතට දාන්නම්ලු. අපි යන්න බෑ කියන නිසා අපිට සෑහෙන කරදර කරනවා. පොලිසි ගානේ අරන් යනවා,එක එක වැරදි කළා කියලා පොලිසියේ පැමිණිලි දානවා. අපි එදා වේල හම්බකරගෙන කන මිනිස්සු. අපිට ලොකුවට සල්ලි නැහැ ඉඩම් අරගෙන ගෙවල් හදාගන්න, අපි මෙහෙන් ඉල්ලන්නේ පර්චස් පහළොවක්  අපි මෙච්චරකල් ජීවත් වුණාට.”

අප මේ සම්බන්දව වත්තේ පාලන කටයුතු බාරව සිටින ජී. කේ. චන්ද්‍රලාල් නැමැත්තාගෙන් විමසුවෙමු,

“මේ වත්ත අයිති නෝනා ඉන්නේ පිටරට, එයා ලඟදී ලංකාවට එනවා කියල කිව්වා. එයා මේ ඉඩම විකුණන්නයි හදන්නේ, මේ වත්තේ මුල ඉඳලා හිටියේ පවුල් 04යි. දැන් ඔවුන්ගේ දරුවන් ලොකුවෙලා ඔවුනුත් ගෙවල් හදාගෙන, මෙයාල වත්තේ කුරුඳු පැල ගලවලා බලෙන් ඉඩම අල්ලගෙන කම්බි වැටවල් ගහගෙන තියෙනවා. එයාල ඉල්ලුවා කියලා එහෙමත් ඉඩම් දෙන්න පුළුවන්ද?”

රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය

හැම්මෑලිය වත්තේ මලයගම් ජනතාවගේ මේ ගැටලු සම්බන්දව දිගින් දිගටම සොයාබැලූ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනි ජේසුදාසන් මහතා පවසන්නේ මේ ජනතාවට ජීවත්වීම සඳහා බිම් කොටසක් ඉල්ලා සිටීමට අයිතියක් ඇති බවයි.

“දීර්ඝ කාලයක් තිස්සේ හැම්මෑලිය වත්තේ ජීවත්වන මේ මලයගම් ජනතාව මේ වත්තෙන් ඉවත් කිරීමේ සැලසුමක් අයිතිකරුවන් විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ලක්ෂ දෙකක් එයාලගේ ගිණුමට බැර කරන්නම් අයින් වෙලා යන්න කියලා තියෙනවා. මේ අය කුලී වැඩ තමයි ජීවිකාව ලෙස කරන්නේ, ඔවුන්ට මෙහෙන් ඉවත් වෙලා යන්න තැනක් නැහැ, ගෙයක් දොරක් හදාගන්න ඉඩමක් මිලදී ගන්න හැකියාවක් නැහැ, මොවුන්ට පාලන අධිකාරියෙන් විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා, නමුත් ජීවත් වෙන්න සුදුසු තැනකට මිස වෙනත් තැනකට යන්න මේ ජනතාව සූදානම් නැහැ. මොවුන්ගේ මුතුන් මිත්තන් පවා මේ වත්තේ වැඩ කරලා මේ වත්ත ගොඩනගන්න දායක වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට අයිතියක් තියෙනවා මෙතනින් ඉඩම් කොටසක් ලබාගැනීමට. අපි වත්තේ පාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා මොවුන් ජීවත්වන මේ කොටසෙන්ම ඉඩම් කෑල්ලක් මොවුන්ට ලබා දෙන ලෙස. රජයට අපි කියනවා මේ ගැටලුවට මැදිහත් වෙලා නිසි විසඳුමක් ලබාදෙන්න කියලා.”

වතුකරයේ ජනතා හඬ සංවිධානය, සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා රැසක් පවත්වා තිබුණද, තවමත් ඔවුන්ගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබී නැත. එහෙත් හැම්මලිය වත්තේ ජනතාව තම අයිතිය වෙනුවෙන් අරගලය අත්හැර නැත. මේ අසරණ ජනතාව තවමත් බලා සිටින්නේ, තමන් පෑගූ දූවිල්ලට පවා අයිතියක් කියන ව්‍යාපාරිකයන් ඉදිරියේ, තමන්ට හිමි විය යුතු මානුෂීය අයිතිය රාජ්‍ය මැදිහත්වීම මත තහවුරු වන තෙක්ය.

හැම්මලිය වත්තේ මේ කතාව අවසානයේදී රට හමුවේ මතු කරන්නේ එක් ප්‍රශ්නයක් පමණි. දශක ගණනාවක් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දහඩිය හෙලූ වතු කම්කරුවන්ගේ පරම්පරාවකට, ඔවුන් ජීවිතය ගෙවූ භූමියේ තමන්ගේම යැයි කියා ගත හැකි බිම් අඟලක අයිතියක් හිමිවිය යුතු නැද්ද?

Related articles

spot_img
error: Content is protected !!