30.5 C
Galle

වසර දෙසීයක ඉතිහාසයක බර තවමත් උසුලන මලෛයහ ජනතාව, අධ්‍යාපනයෙන් අනාගතය සෙවූවත්, අවස්ථා සීමා වෙයි

Published:

ශ්‍රී ලංකාවේ වතුකරයේ පාවෙන මීදුම් අතර, පරම්පරා ගණනාවක් දිවෙන නිහඬ නමුත් ඉකිගසන කතාවක් තිබේ. ඒ වසර දෙසීයකට අධික ඉතිහාසයක් පුරා දිවෙන මලෛයහ ජනතාවගේ කතාවයි. ඉන්දියාවේ සිට වතු සේවය සඳහා ගෙන්වාගෙන ආ මේ ජනතාව, දිනෙන් දින වැඩකිරීම් මැද ජීවිත ගොඩනඟා ගත්තද, සමාන අවස්ථා සහ අයිතිවාසිකම් සඳහා ඔවුන්ගේ සටන තවමත් දිනා නොමැත.

අධ්‍යාපනය ජීවිතය වෙනස් කළ හැකි මූලිකම මාර්ගයක් ලෙස සැලකෙන නමුත් මේ ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු, ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයට දැඩි බලපෑමක් කරමින් පවතී. වතුකරයේ ජනතා හඬ සංවිධානයVoice of Plantation People Organization (VOPP) විසින් ගාල්ලේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී හෙළි වූ කරුණු අනුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක දමිළ මාධ්‍ය පාසල් 10 අතරින් පාසල් 09කම ගණිතය විෂය ඉගැන්වීමට ගුරුවරු නොමැති බව අනාවරණය විය.

තොරතුරු තාක්ෂණය වැනි නවීන ලෝකයේ අත්‍යවශ්‍ය විෂයන්ටද ගුරුවරු නොමැතිවීම, මෙම දරුවන්ගේ අනාගත අවස්ථා තවදුරටත් සීමා කරයි. විශේෂයෙන්ම, සමහර පාසල්වල ගුරුවරු අතිරික්තයක් සිටියද, ගණිතය හා තොරතුරු තාක්ෂණය වැනි මූලික විෂයන් සඳහා ගුරුවරු නොමැති වීම, අධ්‍යාපන පද්ධතිය තුළ ඇති අසමතුලිතතාවය පැහැදිලිව පෙන්වා දෙයි. ගාල්ල දිස්ත්‍රික්කයට අයත් දිවිතුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ ඉතිහාසය පුරාවටම ගණිත ගුරුවරයෙකු නොමැතිව පවත්වාගෙන යාම මෙම ගැටලුවේ ගැඹුරුකම තවදුරටත් තහවුරු කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ දමිළ මාධ්‍ය පාසල් 04ක් සහ මාතර දිස්ත්‍රික්කයේ පාසල් 06ක් පවතින අතර, මෙම සියලු පාසල්වල අපොස උසස්පෙළ සඳහා පවතින්නේ කලා අංශය පමණි. එය ගණිත, විද්‍යා හෝ වාණිජ අංශයන්ගෙන් ඉදිරියට යාමට කැමති සිසුන්ට විකල්ප අවස්ථා නොමැති තත්ත්වයක් උදාවෙයි. එමඟින් ඔවුන්ට තම සිහින අත්හැර දැමීමට හෝ දුර බැහැර ප්‍රදේශවලට ගොස් ඉගෙනීමට සිදුවේ. බොහෝවිට එය ඔවුන්ගේ පවුල්වල ආර්ථික තත්ත්වය නිසා කළ නොහැකි දෙයක් බවට පත්වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ උසස්පෙළ පන්ති පවතින්නේ දිවිතුර විවේකානන්ද මහා විද්‍යාලය සහ තලංගල්ල සරස්වතී දෙමළ මහා විද්‍යාලය යන පාසල් දෙකේ පමණක් වන අතර, ඉගල්කන්ද සහ තල්ගස්වල පිහිටි පාසල් කණිෂ්ඨ මට්ටමේ පාසල් ලෙස පවතී.

එමෙන්ම, දිස්ත්‍රික්ක දෙකේම පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පාඨමාලා සියල්ල සිංහල මාධ්‍යයෙන් පමණක් පවත්වන බවත්, එයද දමිළ මාධ්‍ය සිසුන්ට තවත් බාධාවක් බවත් හෙළිවිය.

මෙම ගැටලු පිළිබඳ අදහස් දැක්වමින් සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ලවීනා හසන්ති පැවසුවේ, 2000 වසරේදී දෙනියාය ප්‍රදේශයේදී ඇන්තනි ජේසුදාසන් මහතා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ වතුකරයේ ජනතා හඬ සංවිධානය, 2023 සිට ලියාපදිංචි සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල මලෛයහ ජනතාව සමඟ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල විසිරී සිටින ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහාද මොවුහු ක්‍රියාත්මක වෙති.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 15කට ආසන්න මලෛයහ ජනතාව රජයේ, සමාගම් සතු, පුද්ගලික හා කුඩා වතු ඇතුළු විවිධ ස්ථානවල විසිරී ජීවත් වෙති. ඔවුන් දිගුකාලීනව මානව අයිතිවාසිකම් අහිමිව, ආන්තික කණ්ඩායමක් ලෙස ජීවත් වන අතර අනේකවිධ බලපෑම්වලට ලක්වී සිටිති.

වැටුප් තත්ත්වයද ඔවුන්ගේ ජීවිතයට බලපාන තවත් ප්‍රධාන කරුණකි. රජය විසින් රුපියල් 1750ක දෛනික වැටුපක් සහ රුපියල් 200ක දීමනාවක් ප්‍රකාශයට පත් කළද, එය ලැබෙන්නේ රජයේ සහ සමාගම් වතුවල සේවය කරන සීමිත පිරිසකට පමණක් බව කථිකාචාර්ය වී. වීරසිංහම් මහතා පෙන්වා දුන්නේය. පුද්ගලික වතුවල බොහෝවිට ගෙවන්නේ රුපියල් 1350ක් හෝ ඊටත් අඩු මුදලක් වන අතර, සමහර ස්ථානවල එය රුපියල් 1150 දක්වා පහළ යන බවද සඳහන් වේ.

නිවාස සහ ඉඩම් අයිතිය නොමැතිවීමද ඔවුන්ගේ ජීවිතයට බරපතළ බලපෑමක් කරයි. ඉන්දියානු ආධාර යටතේ නිවාස 4750ක් ඉදිකර දී තිබුණද, ඒවා ලබාදී ඇත්තේ ඉඩම් අයිතිය ඇති අයට පමණක් බැවින්, බොහෝ දෙනෙකුට එම වාසිය ලබාගැනීමට නොහැකි වී ඇත.

තවද, රාජ්‍ය සේවාවන් ලබාගැනීමේදී භාෂා බාධා දැඩිව පවතින අතර, බොහෝ ග්‍රාම නිලධාරීන්ට දමිළ භාෂාව භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව විවිධ ගැටලු වලට මුහුණ දී සිටිති. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ කිහිපදෙනෙකුට හිමිවිය යුතු රුපියල් 25,000ක ආධාරය පවා නොලැබී තිබීම එයට උදාහරණයකි.

මැතිවරණ සමයේදී ඡන්දය එකතු කිරීමට පැමිණියද ඡන්දය දිනූ පසු වත්තේ කුණු ටික එකතු කිරිමට ප්‍රාදේශීය සභාවෙන් නොපැමිණෙන බවට මොවුහු පවසති.  මෙයට අමතරව, නිවෙස් සඳහා තැපැල් ලිපිනයන් නොමැතිවීම, ණය බරින් පීඩාවට පත්වීම වැනි දෛනික ගැටලු රැසක්ද ඔවුන්ගේ ජීවිතය වටා පවතී.

මෙම සියලු ගැටලු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින්, වතු මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවීම, නායකත්ව පුහුණු කිරීම් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වතුකරයේ ජනතා හඬ සංවිධානය මලෛයහ ජනතාව සමග එක්ව කටයුතු කරමින් සිටී. එමඟින් රාජ්‍ය ආයතන, මාධ්‍ය සහ සිවිල් සංවිධාන සමඟ සබඳතා ශක්තිමත් කරමින් මලෛයහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ඉලක්ක කරයි.

මෙය හුදෙක් අධ්‍යාපන ගැටලුවක් පමණක් නොවේ. මෙය වසර දෙසීයක ඉතිහාසයක් පුරා ගොඩනැගුණු සමාජ අසමතුලිතතාවයක නොසලකාහැරීමක පිළිබිඹුවකි. එය විසඳීමට අවශ්‍ය වන්නේ පද්ධතිමය වෙනසක් සමග සමාන අවස්ථා සැලසෙන, සෑම දරුවෙකුටම ඔවුන්ගේ සිහින සාක්ෂාත් කරගැනීමට ඉඩ ලබාදෙන අනාගතයක් ගොඩනැගීමකිනි.

එහෙත්, මේ සියල්ල මැද, මලෛයහ ජනතාවගේ ජීවිතයේ ඇත්තේ අත්හැර නොදමන ධෛර්යයකි. ඔවුන්ගේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් ලබාදීමට ඇති ආශාව, දිනපතා දියකරන වෙහෙස තුළ පවා නොමැකෙන බලාපොරොත්තුවක් ලෙස දිලිසෙයි.

වතුකරයේ ජනතා හඬ වැනි සංවිධාන මේ නිහඬ හඬට ශක්තියක් එක් කරමින්, අයිතිවාසිකම්, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා උත්සාහ දරයි. එසේම මලෛයහ ජනතාවට පමණක් නොව, සමාජයක් ලෙස අපටම ඇසිය යුතු ප්‍රශ්නයක්ද වේ. වසර දෙසීයකට පසුද, සමාන අවස්ථා සෑම කෙනෙකුටම සැලසීමට අප සමත් වී ඇත්ද?

මෙම කතාව අවසානයක් නොව, තවමත් ලියවෙමින් පවතින කතාවකි. නමුත් එය වෙනස් විය හැක්කේ, ඔවුන්ගේ හඬ ඇසීමට සහ ඒ සඳහා ක්‍රියා කිරීමට අප සූදානම් වන විට පමණි.

කෙසේවුවද අවසානයේ, මලෛයහ ජනතාවගේ කතාව අපට මතක් කර දෙන්නේ එකම එක සත්‍යයකි, එනම් අයිතිවාසිකම් ලබාදීම ප්‍රමාද විය හැකි නමුත්, ඒවා සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය නොහැකි බවයි.

මෙම අවස්ථාවට සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන්, ක්ෂේත්‍ර කළමනාකරු ඇන්ටන් වනත්තයා ඇතුළු පිරිසක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.

Related articles

error: Content is protected !!