තායිලන්තයේ සිට රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ, භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි පුද්ගලයන් 22 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙය ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සැලකේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සෙනසුරාදා රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී, සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබුණේ පාසල් උපකරණ සහ රසකැවිලි අසුරන ලද, ව්‍යාජ පතුල් සහිත ගමන් මලු තුළය. වාර්තා වන අන්දමට එක් අයෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් තිබී ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් පසුගිය අප්‍රේල් 22 වන දින අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් ප්‍රවේශ පත්‍ර මත බැංකොක් නුවර බලා ගොස් ඇති බවයි. සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඔවුන් විදේශගතව සිටියදී ගිහි ඇඳුමින් සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශනද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන තරුණ පිරිසක් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් පිරිස අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. චීවරය අවභාවිත කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට උත්සාහ කළ පළමු ප්‍රධාන අවස්ථාව මෙය ලෙස ආරක්ෂක අංශ පෙන්වා දෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


