ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සංජීව කුමාර සමරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම 69 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම කුමන්ත්‍රණය කිරීම සහ අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සැකකරුට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනා වේ. 2025 පෙබරවාරි මස 19 වැනිදා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවෙකුගෙන් හෙළි වූ තොරතුරු මත පදනම්ව ගම්පහ ඔස්මන්ඩ් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ (පතරොම්) 10ක් සහ පතරොම් ගැබ් (Magazines) 02ක් සොයාගැනීමට පොලිසිය සමත් වී ඇත.
පැය 72ක රැඳවුම් නියෝග
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විටත් විමර්ශන මෙහෙයවනු ලබයි. සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.


