දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරක නවාතැන්පලවල් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ පරිගණක අපරාධවල නිරත වූ බවට සැකපිට ඉන්දීය සහ නේපාල ජාතිකයින් විශාල පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල, මිදිගම සහ හික්කඩුව යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් මාලාවකදී මෙම පිරිස කොටු කරගෙන ඇත. පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගත් සම්පූර්ණ සංඛ්‍යාව 221ක් වන බවයි.
පොලිසිය විසින් ස්ථාන කිහිපයකදී සිදුකළ වැටලීම්වල විස්තර මෙසේය,
ගාල්ල වරාය, මාගල්ල සහ සම්බෝධි හන්දිය අසලදී ඉන්දීය සහ නේපාල ජාතිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සන්තකයේ තිබූ පරිගණක 10ක් සහ ජංගම දුරකථන 32ක් පොලිස් භාරයට ගැනුණි.
මිදිගම, පිංවත්ත ප්‍රදේශයේදී සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හික්කඩුව, දොඩන්දූව නවාතැන්පලක් තුළ සිටි ඉන්දීය ජාතිකයින් 35ක් සහ නේපාල ජාතිකයින් 20ක් සමඟ ඔවුන්ට පහසුකම් සැලසූ හෝටල් හිමිකරු ද අත්අඩංගුවට ගැනුණි. එහිදී ජංගම දුරකථන 119ක්, පරිගණක 25ක්, රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් සහ වාහන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.ෙ
ගල්වඩුගොඩ සහ ශ්‍රී සුමේධ මාවත ලැගුම්හල් දෙකක සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ ජංගම දුරකථන 79ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 19ත් 48ත් අතර පසුවන්නන් වේ. ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වැරදිවලට අමතරව, වලංගු වීසා නොමැතිව රැඳී සිටීම, සංචාරක වීසා මගින් පැමිණ රැකියාවල නිරත වීම සහ තීරුබදු රහිත සිගරට් සන්තකයේ තබාගැනීම යන චෝදනා ද එල්ල වී තිබේ.
මෙම සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අදාළ රටවල සිට මෙරටට පැමිණෙන විදේශිකයින් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දැනට මෙරට රැඳී සිටින විදේශිකයින් සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් පවත්වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


