මඩකළපුව නගරයේ ලැගුම්හලක කාමරයක් තුළ ඇති වූ ගින්නකින් පිටවූ අධික දුමාරය ආශ්වාස වීමෙන් අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු විසින් දිගින් දිගටම සිදුකරන ලද පරස්පර ප්‍රකාශ සහ කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මඩකළපුව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු මුලින් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ සිය බිරිඳට පිළිකා රෝගයක් වැළඳී මඩකළපුව රෝහලක ප්‍රතිකාර ලබන බැවින්, ඇයව බැලීම සඳහා බදුල්ලේ සිට පැමිණ මෙම ලැගුම්හලේ නැවතුණු බවයි. කෙසේ වෙතත්, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බිරිඳට පිළිකා රෝගයක් වැළඳී ඇති බවට සැකකරු පැවසූ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.
මොහු සිය බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින්, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් දරුවන් ලවා දිවයිනේ ප්‍රදේශ රැසක සිඟමන් යැදීමේ ජාවාරමක නිරත වී ඇති බව හෙළි වී ඇත. සැකකරු සන්තකයේ තිබූ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී එය 2023 වසරේදී බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයිතිව තිබී අස්ථානගත වූ එකක් බවත්, එහි සැබෑ හිමිකරු මේ වන විට කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනාවරණය විය. සැකකරු මෙම අන්සතු හැඳුනුම්පත තම නමට භාවිතා කරමින් ජාවාරමේ නිරත වී තිබේ.
බිරිඳ සහ වැඩිමහල් පුතු පොලිසියට එයි
සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ පිළිකා රෝගයකින් පෙළෙමින් රෝහල්ගතව නොසිටි අතර, ඇය මාතර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි විය. මීට පෙර මොහු සමඟ ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් බිරිඳ සිය 9 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා ද සමඟ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ මවගේ නිවස වෙත ගොස් තිබුණි.
මෙම ඛේදවාචකය සැලවීමත් සමඟ, අදාළ මව සිය 9 හැවිරිදි වැඩිමහල් පුතු සහ මෑණියන් සමඟ ඊයේ (29) පස්වරුවේ මඩකළපුව පොලිස් ස්ථානය වෙත පැමිණ සාක්ෂි සහ ප්‍රකාශ ලබා දී ඇත.
පොලිසිය සිදුකළ පුළුල් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුට එරෙහිව අතුරුගිරිය, සපුගස්කන්ද, අනුරාධපුරය සහ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානවල මීට පෙර කරන ලද පැමිණිලි පවතින බවයි. එමෙන්ම ඔහුට එරෙහිව අධිකරණයකින් වරෙන්තුවක් ද නිකුත් කර තිබූ පුද්ගලයෙකු බව වාර්තා වේ.
සිද්ධිය වූ අයුරු
පසුගියදා පස්වරු 2.00 ට පමණ මෙම පියා මත්පැන් පානය කිරීම සඳහා දරුවන් දෙදෙනා කාමරය තුළ රඳවා, එය පිටතින් අගුලු දමා ලැගුම්හලේ පිහිටි තැබෑරුම වෙත ගොස් ඇත. ඔහු මත්පැන් පානය කර නැවත පැමිණෙන විට කාමරය තුළ ගින්නක් හටගෙන තිබූ අතර, කාමරයේ තිබූ මෙට්ටයක් ගිනි ගැනීමෙන් පිටවූ අධික දුමාරය නිසා 3 හැවිරිදි පිරිමි දරුවා සහ 5 හැවිරිදි ගැහැණු දරුවා සිහිසුන්ව වැටී සිට ඇත.
හෝටල් සේවකයින් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර, පියා විසින් දරුවන් දෙදෙනා වහාම මඩකළපුව මූලික රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටියේය. ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) දින සිදු කිරීමට නියමිතය. මඩකළපුව පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ විද්‍යාත්මක කණ්ඩායම් (SOCO) වැඩිදුර විමර්ශන සිදුකරයි.



