28.3 C
Galle

බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලැබූ හිමියන් අත්අඩංගුවට

Published:

15 හැවිරිදි බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව තහවුරු කළහ.

මෙම විමර්ශන ආරම්භ වී ඇත්තේ අදාළ දැරිය පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බවට 2026 මාර්තු 06 වනදා නිට්ටඹුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවය. විමර්ශන අතරතුරදී තමන් මීට පෙර ලිංගික අපයෝජනයට ලක්වූ බවට වින්දිත දැරිය හෙළිදරව් කර ඇති අතර, ඒ අනුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලින් පසුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරන ලදී. එසේම උන්වහන්සේට විදේශ ගමන් තහනමක් ද පනවා තිබුණි.

මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ මුදලට දරුවා විකුණූ බවට එල්ල වූ චෝදනා මත දැරියගේ මව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

වින්දිත දැරිය මේ වන විට අධිකරණ නියෝග මත ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා සිටියි.

අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් අද (09) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත නිට්ටඹුව පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related articles

error: Content is protected !!