28.2 C
Galle

පවුල් ආරවුලක් හේතුවෙන් 6 දෙනෙකු ඝාතනය කරයි

Published:

ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ මස්කටීන් (Muscatine) නගරයේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සැකකාර වෙඩික්කරු ද සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලට අනුව, මෙම සිද්ධිය පවුල් ආරවුලක් මුල් කරගෙන සිදුවී ඇති බවට සැක කෙරෙන අතර, මියගිය සියලු දෙනා සැකකරුගේ පවුලේ සාමාජිකයන් බවට විශ්වාස කෙරේ.

වෙඩි තැබීම් සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයා 52 හැවිරිදි රයන් විලිස් මැක්ෆාර්ලන්ඩ් (Ryan Willis McFarland) ලෙස හඳුනාගෙන තිබේ.

සඳුදා දහවල් පොලිසියට ලැබුණු හදිසි දැනුම්දීමකට අනුව නිවසක් වෙත ගිය නිලධාරීන් එහිදී වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සොයාගෙන ඇත. එම අවස්ථාව වන විටත් සැකකරු එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව සඳහන් වේ.

පසුව නගරයේ ගංගා ඉවුර ආසන්නයේ පිහිටි මංපෙතකදී සැකකරු වෙඩි වැදුණු තත්ත්වයෙන් සොයාගෙන ඇති අතර, එය ස්වයංව සිදුකරගත් වෙඩි තැබීමක් බව පොලිසිය පවසයි. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට උත්සාහ කළද ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

ඉන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී තවත් නිවසක සහ ව්‍යාපාරික ස්ථානයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මෙතෙක් මියගිය පුද්ගලයන්ගේ නම් හෝ වයස් හෙළිකර නොමැති අතර, සැකකරුට පෙර සිට අපරාධ වාර්තාවක් පැවති බව පොලිසිය තහවුරු කර ඇත.

මිසිසිපි ගංගාව ආශ්‍රිතව පිහිටි මස්කටීන් නගරයේ ජනගහනය 23,500කට ආසන්න වේ. සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් නගරාධිපති බ්‍රැඩ් බාර්ක් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ “අහිංසක ජීවිත රැසක් බිලිගත් මෙම ඛේදවාචකය හේතුවෙන් අපගේ හදවත් කම්පා වී ඇත” යනුවෙනි.

Related articles

spot_img
error: Content is protected !!