භරතනාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සංස්කෘතික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව විශාලතම භරතනාට්‍ය නර්තන පාඩම (Largest Bharatanatyam dance lesson) සඳහා වූ ගිනස් ලෝක වාර්තාව අද (14) කොළඹදී පිහිටුවනු ලැබීය.
ගාලු මුවදොර පිටියේදී පැවැත්වුණු මෙම දැවැන්ත උළෙල සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි 5,000කට අධික නර්තන ශිල්පීහු පිරිසක් සහභාගී වූහ. ඉන්දියාවේ සංගමම් ග්ලෝබල් ඇකඩමි (Sangamam Global Academy) සහ ශ්‍රී ලංකාවේ සංගමිත් ලියා (Samgamizh Liya) ආයතනය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාව, ශාස්ත්‍රීය නර්තනය සහ සංස්කෘතික උරුමය සැමරීමේ මහා මංගල්‍යයක් බඳු විය.
සාම්ප්‍රදායික වස්ත්‍රාභරණයෙන් සැරසුණු නර්තන ශිල්පීන් දහස් ගණනක් උපදේශකවරුන්ගේ මඟපෙන්වීම යටතේ ඒකාබද්ධව ඉදිරිපත් කළ නර්තන වින්‍යාසය ගිනස් ලෝක වාර්තා විනිශ්චය මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක් විය. අනතුරුව ඒ සඳහා වන නිල සහතිකය පිරිනැමීම සිදු කෙරුණි.
ප්‍රසාංගික ශිල්පීන් සහ සංවිධායකයන් වෙනුවෙන් එම ගිනස් වාර්තා සහතිකය භාරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා විසිනි. එහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා, මෙම ජයග්‍රහණය වෙනුවෙන් නර්තන ශිල්පීන්ට සහ සංවිධායකයන්ට සුබ පැතුම් එක් කළ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමෙහිලා සංස්කෘතියේ භූමිකාව අතිශය වැදගත් බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුන්දරලිංගම් ප්‍රදීප් සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහ විශාල ජනතාවක් සහභාගී වූහ. දේශසීමා ඉක්මවා යමින් සංස්කෘතික හුවමාරුව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම භරතනාට්‍ය කලාවේ කාලානුරූපී වැදගත්කම ලොවට ප්‍රදර්ශනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ සඳහන් කළහ.



