27.5 C
Galle

ටෙලිග්‍රෑම් (Telegram) ඇප් එක තාවකාලිකව තහනම් කරයි

Published:

ඉන්දියාවේ අතිශය තීරණාත්මක වෛද්‍ය ප්‍රවේශ විභාගයක් නැවත පැවැත්වීමට දින කිහිපයකට පෙර, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම සහ වංචා වැළැක්වීමේ පියවරක් ලෙස ‘ටෙලිග්‍රෑම්’ (Telegram) සමාජ මාධ්‍ය යෙදවුම ඉන්දියාව තුළ තාවකාලිකව අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ලබන ජූනි 21 වනදා මිලියන සංඛ්‍යාත සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ පරීක්ෂණය (NEET-UG) නැවත පැවැත්වීමට නියමිතව ඇත. මීට පෙර මැයි මාසයේදී පවත්වන ලද විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වූ බවට එල්ල වූ බරපතල චෝදනා හමුවේ එය අවලංගු කිරීමට බලධාරීන්ට සිදු විය.

විභාගය පවත්වනු ලබන ජාතික පරීක්ෂණ ආයතනය (NTA) මෙම තීරණය අගය කරමින් කියා සිටියේ, සංවිධානාත්මක වංචාකරුවන් කණ්ඩායම් විසින් අපේක්ෂකයන් මුලා කිරීම සඳහා ටෙලිග්‍රෑම් වේදිකාව උපයෝගී කරගන්නා බැවින් මෙම පියවර ගත් බවයි. ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ලබා දුන් නියෝගයට අනුව, ජූනි 22 වනදා දක්වා ටෙලිග්‍රෑම් භාවිතය සීමා කෙරේ.

මීට අමතරව, වංචනිකයන් විසින් ප්‍රශ්න පත්‍ර කාන්දු වූ බවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සඳහා ටෙලිග්‍රෑම් හි ඇති ‘පණිවිඩ සංස්කරණය කිරීමේ’ (Message-editing) විශේෂාංගය භාවිත කර ඇති බැවින්, ජූනි 30 වනදා දක්වා එම විශේෂාංගයද ඉන්දියාව තුළ අක්‍රීය කරන ලෙස සමාගමට දන්වා ඇත. මේ වන විටත් වංචනික ලෙස මුදල් උපයා ගැනීමට උත්සාහ කළ ටෙලිග්‍රෑම් චැනල සහ ගෲප් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට ඉන්දීය සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (I4C) කටයුතු කර තිබේ.

තහනමට එරෙහිව විරෝධතා

කෙසේ වෙතත්, අන්තර්ජාල පරිශීලකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කරති. ඉන්දියාවේ ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් (Internet Freedom Foundation) ප්‍රකාශ කරන්නේ, මෙම තහනම විනිවිදභාවයකින් තොර සහ ව්‍යවස්ථා විරෝධී පියවරක් බවයි.

විභාගයට සූදානම් වන අවසන් දින කිහිපයේදී දහස් සංඛ්‍යාත සිසුන් පිරිසක් අධ්‍යාපනික අවශ්‍යතා සහ පොත්පත් හුවමාරු කරගැනීමට ටෙලිග්‍රෑම් මත යැපෙන බැවින්, මෙමඟින් සාමාන්‍ය සිසුන් දැඩි අපහසුතාවයට පත්වන බව ඔවුහු පෙන්වා දෙති. පද්ධතිය ඇතුළතින් සිදුවන ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් වැළැක්වීමට ක්‍රියා නොකර, මෙලෙස ඇප් එකක් තහනම් කිරීම “තේරුමක් නැති තාවකාලික පැලැස්තරයක්” පමණක් බව විචාරකයන්ගේ අදහසයි.

මැයි 3 වනදා මධ්‍යස්ථාන 5,000කට අධික සංඛ්‍යාවකදී සිසුන් මිලියන 2.28ක් මෙම විභාගයට පෙනී සිටි අතර, පසුගිය 2024 වසරේද මෙම විභාගය වංචා චෝදනාවලින් කැළඹීමට ලක්විය.

දැනට පවතින විභාග වංචා පිළිබඳව මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) මඟින් පරීක්ෂණ පවත්වන අතර පුද්ගලයන් දහයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!