27.1 C
Galle

සත්වෝද්‍යානයකදී 3 හැවිරිදි දරුවෙකුට කිඹුල් ප්‍රහාරයක්

Published:

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ෂයර් (Cambridgeshire) ප්‍රාන්තයේ පිහිටි සත්වෝද්‍යානයක ආරක්ෂිත කලාපයෙන් ඔබ්බට ගිය අවුරුදු තුනක් වයසැති පිරිමි දරුවෙකු කිඹුලෙකුගේ දරුණු ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් මිනීමැරීමට තැත් කිරීමේ සැකය මත 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබේ.

හන්ටිංඩන් (Huntingdon) නගරය අසල පිහිටි ‘ජොන්සන්ස් ඔෆ් ඕල්ඩ් හර්ස්ට්’ (Johnsons of Old Hurst) සත්වෝද්‍යානයේදී පසුගිය බ්‍රහස්පතින්දා පස්වරු 1.20 ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇත.

තම පවුලේ සාමාජිකයන් සමඟ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි මෙම කුඩා දරුවා, කිඹුලන් රඳවා සිටින සීමාවට ඇතුළු වී ඇති අතර එහිදී වහාම ක්‍රියාත්මක වූ එක් කිඹුලෙකු හෝ කිහිපදෙනෙකු දරුවාට ප්‍රහාරය එල්ල කර තිබේ. සත්වෝද්‍යානයේ හිමිකාරිත්වයක් දරන ට්‍රේසි ජොන්සන් (Tracey Johnson) නමැති කාන්තාව සිය ජීවිතය පවා නොතකා වහාම කිඹුල් කූඩුව තුළට පැන දරුවා බේරා ගැනීමට කටයුතු කර ඇත.

වනජීවී විශේෂඥයන් පවසන්නේ ඇය දැක්වූයේ අදහාගත නොහැකි නිර්භීතකමක් බවයි. කිඹුලන් සාමාන්‍යයෙන් තමන් අසලට යමක් කඩා වැටුණු සැනින් ක්ෂණිකව සපාකෑමට පෙළඹෙන බවත්, ඇය මැදිහත් වුවත් ඇයට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවත් වාර්තා වේ. සත්වෝද්‍යාන පරිශ්‍රයේදීම මූලික වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු, ගුවන් ගිලන් රථයක් (Air Ambulance) මඟින් දරුවා කේම්බ්‍රිජ් හි ඇඩන්බෲක්ස් (Addenbrooke’s) රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය තවමත් බරපතල නමුත් ස්ථාවර මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නොර්ෆොක් (Norfolk) ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ අනතුරට පත් දරුවා සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා අතර පෙර පැවති කිසිදු හිතවත්කමක් හෝ සබඳතාවක් නොමැති බවයි.

ඔහුව “මිනීමැරීමට තැත් කිරීමේ” (Attempted murder) සැකය මත අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ, මෙම 3 හැවිරිදි දරුවාව කිඹුලන් සිටි අනාරක්ෂිත කලාපයට ඇතුළු කිරීමට හෝ තල්ලු කිරීමට ඔහු යම් ආකාරයකින් සම්බන්ධ වී ඇති බවට පොලිසිය සැක කිරීමයි.

කෙසේ වෙතත්, ඔහු දරුවාව එම කූඩුවට දැමුවේද, නැතහොත් දරුවා එහි වැටීමට ඔහුගේ කිසියම් සාපරාධී නොසැලකිලිමත්කමක් බලපෑවේද යන්න සෙවීම සඳහා පොලිසිය දැනට සත්වෝද්‍යානයේ සීසීටීවී (CCTV) දර්ශන ඉතා සියුම්ව පරීක්ෂා කරමින් සිටිනවා.

සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර, ඔහුගේ පවතින ශාරීරික හෝ මානසික සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ප්‍රකාශයක් ලබා දීමට (Interview) ඔහු තවමත් සුදුසු තත්ත්වයක නොමැති බවයි පොලිසිය පවසන්නේ. එම නිසා ඔහු මේ දේ කළේ ඇයිද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත්, අනතුරට හේතු වූ කිඹුලන් සත්වෝද්‍යානයෙන් ඉවත් කිරීමට හෝ මරාදැමීමට පොලිසිය පියවර ගෙන නැත.

මෙම සත්වෝද්‍යානය 2024 වසරේදී නිසි පරිදි බලපත්‍ර අලුත් කරන ලද, මහජන ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති ස්ථානයක් බව පළාත් පාලන ආයතන පවසයි. කිඹුලන් රඳවා සිටින ‘ට්‍රොපිකල් හවුස්’ (Tropical House) ගොඩනැගිල්ල වටා ඉහළින් සකස් කරන ලද ලෝහ වැටවල් සහ ආරක්ෂිත දැල් සහිත ඇවිදීමේ මංතීරු පවතින බවත්, මීට පෙර කිසිදු අනතුරක් එතැනින් වාර්තා වී නොමැති බවත් බලධාරීහු පෙන්වා දෙති.

සිදුවීමෙන් පසු, වින්දිත පවුලට ගරු කිරීමක් වශයෙන් කිඹුලන් සිටින කලාපය තාවකාලිකව වසා දමා ඇති අතර සත්වෝද්‍යානයේ සෙසු අංශ සාමාන්‍ය පරිදි විවෘතව පවතී.

Related articles

spot_img
error: Content is protected !!