රථ වාහන අනතුරුවලින් සිදුවන ජීවිත හානි සහ බරපතල තුවාල ලැබීම් වළක්වා ගැනීමේ අරමුණින්, වාහන ධාවනයේදී ආසන පටි (Seat Belts) පැළඳීමේ නීතිය අද (20) සිට රට පුරා දැඩිව බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
මෙම නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා රියදුරන්ට සහ මහජනතාවට හුරු වීමට රජය විසින් මීට පෙර ලබා දී තිබූ සහන කාලය ඊයේ (19) දිනෙන් අවසන් වූ බව එම සභාව සඳහන් කළේය. ඒ අනුව අද සිට නීතිය කඩකරන පිරිස් වෙත තරාතිරම නොබලා නීතිමය පියවර ගැනීමට රථවාහන පොලිසිය කටයුතු කරනු ඇත.
නව රෙගුලාසිවලට අනුව මාර්ග වර්ගීකරණය මත ආසන පටි පැළඳිය යුතු ආකාරය මෙසේය,
සාමාන්‍ය මාර්ගවල ධාවනය වන විට වාහනයේ රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නා අනෙක් මගියා පමණක් ආසන බඳ පටිය පැළඳීම අනිවාර්ය වේ.
අධිවේගී මාර්ගවල ධාවනය වන විට වාහනයේ රියදුරු ඇතුළු ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් ගන්නා සියලුම මගීන් (All Passengers) අනිවාර්යයෙන්ම ආසන බඳ පටි පැළඳ සිටිය යුතුය.
රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආරක්ෂිත ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය ගත් තීරණයට අනුව මෙම පියවර ගෙන තිබේ. තමන්ගේත්, තම පවුලේ උදවියගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසත්, වාහනයට ගොඩවූ සැනින් ආසන පටි පැළඳීමට වගබලා ගන්නා ලෙසත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



