කැරිබියන් කලාපයේ ප්‍රමුඛතම සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) සුප්‍රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක ඊයේ (19) සිකුරාදා හටගත් මහා ගින්නකින් 46 හැවිරිදි විදේශීය කාන්තාවක මියගොස් ඇති බව එරට බලධාරීහු තහවුරු කරති.
ලා අල්ටග්‍රාසියා (La Altagracia) ප්‍රාන්තයේ බයාහිබේ (Bayahibe) වෙරළ තීරයේ පිහිටි කාමර 700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත ‘විවා ඩොමිනිකස් බීච්’ (Viva Dominicus Beach) හෝටල් සංකීර්ණයේ මෙම ගින්න හටගෙන තිබේ. ගින්න හේතුවෙන් එහි රැඳී සිටි සංචාරකයන් 1,700කට ආසන්න පිරිසක් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට හදිසි අනතුරු අංශ පියවර ගෙන ඇත.
ගින්න නිවීම සඳහා ගිනි නිවන ඒකක 15ක් පමණ දැඩි පරිශ්‍රමයක් දැරූ අතර, ඒ වන විටත් හෝටලයේ පිදුරු සහ තල් කොළවලින් සෙවිලි කර තිබූ වහලවල් පුරා ගිනිදැල් වේගයෙන් පැතිර ගොස් තිබුණි. ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වය සහ වහලයේ තිබූ පහසුවෙන් ගිනි ඇවිළෙන සුලු ස්වභාවය (Flammable nature) හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වූ බව එරට හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය (COE) පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉතාලි ජාතික සංචාරක කාන්තාවක වන ෆ්‍රැන්සෙස්කා වැලන්ටිනෝ (Francesca Valentino) නැමැත්තියකි. ගින්නෙන් තුවාල ලැබූ සහ දුමාරය ආග්‍රහණය වීමෙන් පීඩාවට පත් වූ තිදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, තවත් හය දෙනෙකුට එම ස්ථානයේදීම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. පීඩාවට පත් වූවන් අතර හෝටල් අමුත්තන් මෙන්ම සහන සේවා නිලධාරීන් ද සිටින බව වාර්තා වේ.
දැනට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. එහි රැඳී සිටි අමුත්තන් අසල පිහිටි වෙනත් හෝටල් වෙත යොමු කර ඇති අතර, එම හෝටල් ජාලයටම අයත් යාබද නිවාඩු නිකේතනයකට ගින්නෙන් කිසිදු හානියක් සිදුව නොමැත.
සුදු වැලි වෙරළ සහ පැහැදිලි නිල් දියවර නිසා ලොව පුරා ප්‍රසිද්ධ ඩොමිනිකන් ජනරජය, කැරිබියන් කලාපයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් රට වන අතර, මේ වසරේ මුල් මාස පහ තුළ පමණක් එරටට සංචාරකයන් මිලියන 5.6ක් පැමිණ තිබේ. මෙම අනතුර සිදුවුවද, බයාහිබේ ප්‍රදේශයේ සෙසු සංචාරක කටයුතු සුපුරුදු පරිදි ආරක්ෂිතව සිදුවන බව එරට රජය අවධාරණය කරයි.



