27.3 C
Galle

පාසල් ආපනශාලාවල පැණිබීම, බිස්කට්, බර්ගර් ඇතුළු ආහාර ගනනාවක් විකිණීම තහනම්, දරුවන්ගෙන් 12%කට අධිබර

Published:

පාසල් දරුවන් අධික තරබාරුව සහ මන්දපෝෂණය ඇතුළු සෞඛ්‍ය ගැටලුවලින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් හොට් ඩෝග්, බර්ගර්, පීසා, බිස්කට්, කේක් සහ පැණිබීම ඇතුළු අධික සීනි, තෙල් සහ ලුණු සහිත ආහාර පාසල් ආපනශාලා තුළ විකිණීම තහනම් කරමින් නව චක්‍රලේඛයක් සහ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබේ.

රජයේ සහ අර්ධ රාජ්‍ය සියලුම පාසල්වලට බලපැවැත්වෙන මෙම විශේෂ වැඩසටහන එළඹෙන සඳුදා (22 වැනිදා) සිට නිල වශයෙන් රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පී. සුදර්ශන පීරිස් මහතා සඳහන් කළේය. මේ සම්බන්ධ චක්‍රලේඛය සියලුම පළාත්, කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කළ ආහාර වර්ග

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධිකා සුදසිංහ මහත්මිය පවසන පරිදි පාසල් ආපනශාලාවල අලෙවි කිරීම සපුරා තහනම් වන ආහාර වන්නේ,

ක්ෂණික සහ සැකසූ ආහාර වලට අයත් වන සොසේජස්, මීට් බෝල්ස්, බේකන්, බර්ගර්, හොට්ඩෝග්, පීසා, සබ්මැරින්, ක්ෂණික නූඩ්ල්ස් සහ ක්ෂණික සුප් වර්ග.

පැණිරස සහ බේකරි නිෂ්පාදන වලට ුයත් වන සියලුම වර්ගයේ බිස්කට්, කේක්, ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, පේස්ට්‍රි, පුඩින් සහ ජෙලි වර්ග.

පැණිබීම සහ රසකාරක වලට අයත් වන කාබනීකෘත බීම (පැණිබීම), වර්ණකාරක යෙදූ පාන වර්ග, ශක්තිජනක පාන (Energy Drinks), ක්ෂණික තේ/කෝපි, යෝගට්, තක්කාලි සහ සෝයා සෝස්, සුප් කැට.

අයිස් පැකට් සහ පැණිරස කෑම වලට අයත් වන ටොෆි, චොකලට්, ලොලිපොප්, චුයින්ගම්, ජුජුබ්ස්, බුල්ටෝ, බොම්බයි මොටයි, බූන්දි, මස්කට්, අයිස් පැකට් සහ අයිස් පලම්.

තීරණයට හේතු වූ තිගැස්සෙනසුලු සමීක්ෂණ දත්ත

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පෙන්වා දුන්නේ වත්මන් පාසල් දරුවන්ගේ වැරදි ආහාර රටාව නිසා ඔවුන් බරපතල සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බවයි.

නවතම ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ දත්තවලට අනුව වයස අවුරුදු 13ත් 17ත් අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින් (Overweight) පෙළෙති.

එසේම 3%ක් ස්ථූලතාවයෙන් (Obesity) පෙළෙති.

දරුවන්ගෙන් 41%ක් අධික සීනි සහිත ආහාරවලටත්, 29%ක් අධික තෙල් සහිත ආහාරවලටත්, 28.5%ක් අධික ලුණු සහිත ආහාරවලටත් හුරු වී සිටිති.

දරුවන්ගෙන් 17.4%ක් නිරන්තරයෙන් පැණිබීම (කාබනීකෘත පාන) භාවිත කරති.

මීට අමතරව මෙරට පාසල් දරුවන්ගෙන් 20%ක් පමණ යම් මට්ටමක මන්දපෝෂණ තත්ත්වයකින් පෙළෙන බව ද, වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 16.1%ක් අඩු බරින් සහ 10.1%ක් මිටි බවින් පෙළෙන බව ද මෙහිදී අනාවරණය විය.

දැඩි අධීක්ෂණය සහ නියාමනය

මෙම මාර්ගෝපදේශ මාලාව පාසල් තුළ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමේ වගකීම විදුහල්පතිවරුන් ඇතුළු පාසල් සෞඛ්‍ය කමිටු වෙත පවරා ඇත. ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් ද විශාල පිරිසක් (කාන්තාවන්ගෙන් 47.6%ක් සහ පිරිමින්ගෙන් 30%ක්) අධිබරින් පෙළෙන බැවින්, කුඩා කල සිටම දරුවන් වස විසෙන් තොර පිරිසිදු ආහාර රටාවකට යොමු කිරීමෙන් අනාගතයේදී ඔවුන් බෝ නොවන රෝගවලට ගොදුරු වීම අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!