27 C
Galle

දැඩි උෂ්ණත්වය හමුවේ ප්‍රංශයේ පොදු උත්සව වල මත්පැන් තහනම් කෙරේ

Published:

යුරෝපය පුරා පවතින දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය (Heatwave) හමුවේ, ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රසිද්ධ ‘ෆෙට් ඩි ලා මුසික්’ (Fête de la Musique) ජාතික සංගීත උත්සවයේ ප්‍රසංග සඳහා මත්පැන් භාවිතය තහනම් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.

සෑම වසරකම ගිම්හාන විෂුවය (Summer Solstice) යෙදෙන ඉරිදා දිනයේ පැවැත්වෙන මෙම දැවැන්ත වීදි සංගීත උත්සවය නැරඹීම සඳහා මිලියන සංඛ්‍යාත ජනකායක් ප්‍රංශයේ වීදිවලට රොක් වෙති. කෙසේ වෙතත්, මේ වන විට රටෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රදේශයකට අධික උෂ්ණත්වය සම්බන්දව දැඩි රතු නිවේදන (Red Alerts) නිකුත් කර තිබීම හේතුවෙන් මෙලෙස පොදු ස්ථානවල මත්පැන් පානය කිරීම තහනම් කර ඇත.ෙ

අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) මහතාගේ කාර්යාලය ප්‍රකාශ කළේ, රජය සහ රාජ්‍ය ආයතන මඟින් සංවිධානය කරනු ලබන කිසිදු උත්සවයකදී මත්පැන් ලබා නොදෙන ලෙසට උපදෙස් දී ඇති බවයි.

“හදිසි අනතුරු සහ සෞඛ්‍ය සේවාවලට එල්ල වන පීඩනය අවම කිරීමටත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයට වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කිරීමට ඉඩ සැලසීමටත් මත්පැන් පරිභෝජනය සීමා කරන ලෙස රජය ඉල්ලා සිටිනවා.” යනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයකර තිබේ.

ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ සිට පැරිස් කලාපය හරහා බර්ගන්ඩි දක්වා ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 40 ත් (ෆැරන්හයිට් 102-104) අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ අනාවැකි පවසයි.

යුරෝපය පුරා වර්ධනය වෙමින් පවතින මෙම දැඩි උෂ්ණාධික තත්ත්වය, සාමාන්‍ය කාලගුණික අගයන්ට වඩා සෙල්සියස් අංශක 10 ත් 15 ත් අතර ඉහළ මට්ටමක පවතී. මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර දුසිම් ගණනාවක් අවලංගු කිරීමට සහ පාසල් පන්ති තහනම් කිරීමට ද බලධාරීන්ට සිදුව ඇත.

ප්‍රංශයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Météo-France) පවසන පරිදි රටේ ජනගහනයෙන් හතරෙන් තුනකට පමණ මෙම තත්ත්වය බලපා ඇති අතර, මෙම උෂ්ණාධික කාලගුණය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව ඔවුහු පවසති.

පැරිස් වැසියන්ට සහ සංචාරකයින්ට මෙම අධික උෂ්ණත්වයෙන් සහනයක් සැලසීම සඳහා අගනුවර පිහිටි උද්‍යාන සහ ක්‍රීඩාංගණ රාත්‍රී කාලයේදී ද විවෘතව තැබීමට නගර බලධාරීන් පියවර ගෙන ඇත. වසර 40කට වැඩි ඉතිහාසයක් ඇති මෙම සංගීත උත්සවය සඳහා පසුගිය වසරේදී පමණක් පැරිස් නුවරට මිලියන දෙකකට අධික ජනකායක් සහභාගී වී තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!