27.2 C
Galle

“රස්නයෙන් බේරෙන්න බැරි බිලියන 2ක්” නිසි නිවාස, ජලය සහ සිසිලන පහසුකම් නොමැතිකමෙන් ජීවිත අවදානමේ

Published:

ලොව පුරා බිලියන 2කට වැඩි පිරිසක් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මූලික පහසුකම් නොමැති තත්ත්වයක ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. විද්‍යාඥයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ “Cooling Poverty” හෙවත් “උණුසුම් දරිද්‍රතාවය” ලෙසයි.

එයින් අදහස් වන්නේ වායු සමීකරණ යන්ත්‍රයක් (Air Conditioner) නොමැති වීම පමණක් නොවේ. නිසි නිවසක්, පිරිසිදු ජලය, විදුලිය, සෞඛ්‍ය සේවා සහ උණුසුම පිළිබඳ නිවැරදි තොරතුරු නොමැති වීමද ඊට ඇතුළත් වේ.

විද්‍යාත්මක සඟරාවක් වන Nature Sustainability හි පළ වූ මෙම අධ්‍යයනය සඳහා රටවල් 28ක නිවාස මිලියනයකට වැඩි සංඛ්‍යාවක තොරතුරු විශ්ලේෂණය කර තිබේ. එහිදී පුද්ගලයන් බිලියන 3කට ආසන්න පිරිසක් පිළිබඳ තොරතුරු සලකා බලා ඇත.

අධ්‍යයනයට අනුව බිලියන 1.2ක පමණ පිරිසක් මධ්‍යස්ථ මට්ටමේ උණුසුම් දරිද්‍රතාවයකින් පෙළෙන අතර මිලියන 550කට වැඩි පිරිසක් දැඩි අවදානමක පසුවෙති. තවත් මිලියන 600කට වැඩි පිරිසක් ජීවත් වන්නේ අධික උෂ්ණත්වය සමඟ දුප්පත්කම, දුර්වල නිවාස සහ සෞඛ්‍ය පහසුකම් නොමැතිකම යන ගැටලු එකවර බලපාන ප්‍රදේශවලය.

දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකානු කලාපය මෙම ගැටලුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය වැනි රටවල අධික උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

විශේෂයෙන්ම එළිමහනේ වැඩ කරන ගොවීන්, ඉදිකිරීම් කම්කරුවන්, ප්‍රවාහන සේවකයන් සහ දෛනික වැටුප් ලබන පිරිස් වැඩි අවදානමකට ලක්ව සිටින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දුර්වල නිවාස ද මෙම අවදානම වැඩි කරයි. ටින් හෝ ඇස්බැස්ටස් වහල සහිත නිවාසවල ඇතුළත උෂ්ණත්වය පිටතට වඩා සෙල්සියස් අංශක 5කින් පමණ වැඩි විය හැකි බව අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

විද්‍යාඥයන් අවධාරණය කරන්නේ මෙම ගැටලුවට විසඳුම වායු සමීකරණ යන්ත්‍ර බෙදාදීම පමණක් නොවන බවයි. නිවාස සැලසුම් වැඩිදියුණු කිරීම, නිවාසවල වහලවල සූර්ය රශ්මිය පරාවර්තනය කරන සුදු පැහැති තීන්ත ආලේප කිරීම, ගස් වැවීම, නගරවල හරිත කලාප වැඩි කිරීම, පිරිසිදු ජලය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම සේවකයන්ට උණුසුම් කාලවල විවේක ලබාදීම වැනි පියවරද අවශ්‍ය බව ඔවුහු පවසති.

එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේදී උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බැවින්, රටවල් දැන්ම ඒ සඳහා සූදානම් විය යුතු බව විද්‍යාඥයන් අනතුරු අඟවයි.

කෙසේවුවද දේශගුණික විපර්යාස හේතුවෙන් උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යන විට මිනිසුන්ට ඒ තත්ත්වයට යම් ප්‍රමාණයකට අනුගත විය හැකි වුවද, එයට සීමාවක් ඇති බවද ඔවුහු පවසති. අධික රස්නය යම් මට්ටමක් ඉක්මවා ගිය විට, ගස් සිටුවීම, සුදු වහල භාවිතය, විවේක ලබාදීම වැනි ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන අතර මිනිස් සෞඛ්‍යයට හා ජීවිතවලට බරපතළ බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.

“රස්නය වැඩිවෙන හැම වතාවෙම මිනිස්සුන්ට තව ටිකක් හැඩගැහෙන්න කියලා බලාගෙන ඉන්න බැහැ. අවසානයේ මිනිස් ශරීරයට දරාගන්න බැරි මට්ටමක් එනවා.”යනුවෙන් මෙම අධ්‍යයනයට සම්බන්ධ විශේෂඥයන් අවධාරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!