ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක පවතින දැඩි උෂ්ණත්ව රැල්ල (Heatwave) හේතුවෙන් ප්‍රංශයේ පමණක් බ්‍රහස්පතින්දා සිට මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) මහතා ප්‍රකාශ කර තිබේ.
අධික උෂ්ණත්වය හමුවේ සිසිලස සෙවීම සඳහා වනජීවී හෝ ආරක්ෂක නිලධාරීන් නොමැති අනාරක්ෂිත ගංගා සහ ඇළ මාර්ගවල පිහිනීමට යාම මෙම මරණවලට ප්‍රධාන හේතුව වී ඇත.
මියගිය අය අතර සේන් (Seine) ගඟේ දිය නෑමට ගිය 13 හැවිරිදි දැරියක් ද වන අතර, කාර්පෙන්ට්‍රාස් (Carpentras) නුවර නවතා තිබූ මෝටර් රථයක් තුළ සිටි වයස අවුරුදු දෙකක සහ හතරක දරුවන් දෙදෙනෙකු ද අධික රශ්මිය හේතුවෙන් මියගොස් තිබේ.
මෙම දැඩි බලපෑම හමුවේ ප්‍රංශයේ ප්‍රධාන නගර කිහිපයකම උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර ප්‍රංශයේ මෙට්‍රොපොලිටන් දෙපාර්තමේන්තු 96න් 58ක් සඳහාම රතු නිවේදන (Red Alert) නිකුත් කර ඇත. උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ (Eiffel Tower) සහ ලූවර් කෞතුකාගාරය (Louvre) නියමිත වේලාවට පෙර වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එමෙන්ම ගැරොන් (Garonne) ගඟේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 සීමාව ඉක්මවා යාම නිසා, එහි ජලයෙන් සිසිලනය වන ‘ගොල්ෆෙක්’ (Golfech) න්‍යෂ්ටික බලාගාරය ද තාවකාලිකව වසා දැමීමට සිදුව ඇත. පොදු ප්‍රවාහන සේවාවලට ද මෙයින් දැඩි බාධා එල්ල වී ඇත්තේ දුම්රිය මාර්ගවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සීමාවට වඩා ඉහළ යාම දුම්රිය ධාවනයට අනාරක්ෂිත බැවිනි.
ප්‍රංශයට අමතරව ස්පාඤ්ඤය සහ ඉතාලිය ද මෙම උෂ්ණත්ව රැල්ලෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. ස්පාඤ්ඤයේ ග්‍රාමීය ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 සීමාව දක්වා ඉහළ ගොස් ඇති අතර එරට කාලගුණ අංශ පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ජූනි මාසයේ මෙවැනි උෂ්ණත්ව රෑල්ලක් ඇතිවීම දැන් සාමාන්‍ය තත්ත්වයක් වී ඇති බවයි.
ඉතාලියේ රෝමය, මිලාන් සහ වැනිසිය ඇතුළු ප්‍රධාන නගර 15ක රතු නිවේදන නිකුත් කර ඇති අතර, අධික රශ්මිය සහිත වේලාවන්හිදී ගොවිපළ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා එරට රජය විසින් හදිසි කම්කරු සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ජර්මනියේ ද බටහිර සහ නිරිතදිග ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එරට රයින් (Rhine) ගඟ ආශ්‍රිතව ද දියේ ගිලීම් කිහිපයක් වාර්තා වී ඇත. ඉදිරි දිනවලදී මෙම උෂ්ණත්ව රැල්ල නෙදර්ලන්තය සහ බෙල්ජියම දෙසට ව්‍යාප්ත වනු ඇතැයි කාලගුණ අනාවැකි පළ වන අතර, නෙදර්ලන්තය විසින් මේ වන විටත් දේපළ හා ජීවිතවලට අනතුරුදායක විය හැකි ‘කෝඩ් ඔරේන්ජ්’ (Code Orange) නිවේදනයක් නිකුත් කර තිබේ.
බෙල්ජියම ද සිය ජාතික ඕසෝන් සහ තාප සැලැස්මේ ‘අනතුරු ඇඟවීමේ අදියර’ ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.



