30.5 C
Galle

අධික උණුසුමෙන් ග්ලැසියර දියවෙයි, කාන්තාරවලත් දරුණු ජල ගැලීම්

Published:

චීනයේ වයඹ දිග ෂින්ජියැං (Xinjiang) ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට මෙම ගිම්හානයේදී “අතිශය දරුණු ගංවතුර” තත්ත්වයන් සඳහා සූදානම් වන ලෙස චීන බලධාරීන් අනතුරු අඟවා තිබේ.

සාමාන්‍යයට වඩා ඉහළ උෂ්ණත්වයන් හේතුවෙන් ග්ලැසියර හා හිම ආවරණ වේගයෙන් දියවීම මගින් සහ අධික වර්ෂාපතනය නිසා මෙම තත්ත්වය නිර්මාණය වනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති.

චීනයේ විශාලතම කාන්තාරය ලෙස සැලකෙන ටක්ලමකාන් (Taklamakan) කාන්තාරය තුළ මේ වසරේ පළමු ගංවතුර තත්ත්වය ජූනි මස මුලදී වාර්තා වී තිබේ. සාමාන්‍යයෙන් වියළි වැලි කඳු වලින් පිරී ඇති මෙම කාන්තාරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති ආකාරය චීන රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රදර්ශනය කර ඇත.

විශේෂත්වය වන්නේ මෙවැනි ගංවතුර තත්ත්වයන් මීට පෙරද වාර්තා වී තිබුණද ඒවා බොහෝ විට අගෝස්තු මාසයේදී සිදුවීමයි. එහෙත් මෙවර අධික උෂ්ණත්වය ඉතා ඉක්මනින් වාර්තා වීම හේතුවෙන් ගංවතුර තත්ත්වයද පෙරට පැමිණ තිබේ.

ජූනි 12 වනදා ෂින්ජියැං ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 7.3කින් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගොස් තිබුණි.

එමෙන්ම බටහිර සහ දකුණු ෂින්ජියැං ප්‍රදේශවල පසුගිය දිනවල අසාමාන්‍ය ලෙස වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ඇතැම් ස්ථානවල ජූනි මස මුල් සතිවල ලැබුණු වර්ෂාපතනය සාමාන්‍ය අගය මෙන් දෙගුණයක් හෝ තුන්ගුණයක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ටියන්ෂාන් (Tianshan) සහ කුන්ලුන් (Kunlun) කඳු පන්තීන්හි ග්ලැසියර සහ හිම ආවරණ විශාල වශයෙන් දියවී යමින් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එම දියවූ ජලය චීනයේ දිගම අභ්‍යන්තර ගංගාව වන ටාරිම් (Tarim) ගංගාව වෙත ගලා ඒම නිසා ගංගාවේ ජල මට්ටම ඉහළ ගොස් එය ඉවුරු පසුකර කාන්තාරයේ පහත් බිම් ප්‍රදේශ වෙත පැතිර ගොස් තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙම ජල ගැලීම් නිසා කාන්තාරය තුළ තාවකාලික හරිත ප්‍රදේශ සහ ජල තටාක නිර්මාණය විය හැකි වුවද, අඩු ආර්ද්‍රතාව සහ අධික වාෂ්පීකරණය හේතුවෙන් එම තත්ත්වය දිගු කාලයක් නොපවතින බවයි.

කෙසේ වෙතත් මෙම ජලය ප්‍රදේශයේ වනාන්තර සහ ශාක පද්ධති සඳහා වැදගත් ජල සැපයුමක් සපයන අතරම, මාර්ග, දුම්රිය මාර්ග සහ තෙල් හා ගෑස් යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුකළ හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

චීන කාලගුණ පරිපාලනයේ විශ්ලේෂක සන් චියන්චියන් පවසා ඇත්තේ දැඩි ගංවතුර තත්ත්වයන් මඟින් ප්‍රවාහන ජාලයන් සහ බලශක්ති ව්‍යාපෘති විනාශ විය හැකි බැවින් එය සැලකිය යුතු ආපදා අවදානමක් බවයි.

එම නිසා ගංවතුර සමයේදී අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ සංචාරකයන් නිල අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටිමින් සිය සංචාර සැලසුම් වෙනස් කර ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව බලධාරීහු පවසති.

Related articles

spot_img
error: Content is protected !!