මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ වසර 22ක් පැරණි ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මෙරට පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැති සෑම ඡන්ද විමසීමකදීම ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කර තිබිණි. හොර ඡන්ද දැමීම හෝ එක් අයෙකු එක වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීම මෙම ක්‍රමවේද දෙකෙහිම මූලික අරමුණ වී තිබුණි.
එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා හැඳුනුම්පත් පරීක්ෂාව සහ තීන්ත ආලේප කිරීම යන එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවට බාධා පැමිණෙන බව රජය නිරීක්ෂණය කර ඇත.
එමෙන්ම මැතිවරණ පැවැත්වීමේදී නොමැකෙන තීන්ත මිලදී ගැනීම සඳහා රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින්, නොමැකෙන තීන්ත භාවිතය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන මැතිවරණ පනත්වලින් ඉවත් කිරීම යෝග්‍ය බව රජය තීරණය කර තිබේ.
ඒ අනුව නොමැකෙන තීන්ත භාවිත කිරීමේ අවශ්‍යතාව නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා මැතිවරණ පනත් කිහිපයක වගන්ති කඩිනමින් සංශෝධනය කිරීමට නීතිමය පියවර ගනු ලබයි. එහිදී ජනාධිපතිවරණ සඳහා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය ද, මහ මැතිවරණ සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය ද සංශෝධනය කෙරේ.
මීට අමතරව පළාත් සභා මැතිවරණ සඳහා 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තියත්, පළාත් පාලන මැතිවරණ සඳහා 262 වැනි අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ වගන්තියත් සංශෝධනය කිරීමට නියමිතය.
එමෙන්ම ජනමත විචාරණ සඳහා බලපාන 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය ද මෙම තීරණයට අනුව ඉදිරියේදී සංශෝධනය වනු ඇත.



