ඩෙංගු රක්තාපාත උණ හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා විශ්ව විද්‍යාල සිසුවියක් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි හික්කඩුව විතානගේ සඳලි තාරුකා නැමැති තරුණියයි.
දෙනියාය, කළුගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය, ගාල්ල ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගිය බව පොලිසිය පවසයි.
මියගිය සිසුවියගේ මව දෙනියාය රෝහලේ සේවය කරන හෙදියක වන අතර, දියණියගේ අසනීප තත්ත්වය සහ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඇය දැඩි කනගාටුවෙන් යුතුව මෙලෙස පැවසුවාය.
“දුව විශ්වවිද්‍යාලය අසල බෝඩිමක නැවතිලා හිටියේ. ඒ බෝඩිමේ තවත් ළමයි කිහිපදෙනෙකුටම ඩෙංගු වැළඳිලා තියෙනවා කියලා ආරංචි වුණාම අපි දුවට කිව්වා ඉක්මනට ගෙදර එන්න කියලා. ඒත් එයා කීවා, ‘අනේ අම්මේ මට විභාගය තියෙනවා, මම කොහොමද එන්නේ’ කියලා. එහෙම කියලා එයා බෝඩිමේම නතර වුණා. පස්සේ උණ වැළඳුනාමයි දුවගේ තාත්තා ගිහින් එදිනම රෑ දුවව ගෙදර එක්ක ආවේ.”
පසුගිය 16 වනදා දියණියව නිවසට රැගෙන ආ පියා, 17 වනදා ඇයව දෙනියාය රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 22 වනදා රාත්‍රියේ ඇයව ගාල්ල ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 23 වනදා සවස ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මව වැඩිදුරටත් පවසා සිටියේ තමා හෙදියක වුවත් දියණියගේ ලඟ සිට ඇයට සාත්තු කළත් දියණියගේ ජීවිතය බේරා ගැනීමට තමාට නොහැකි වූ බවයි.
ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චතුරිකා ප්‍රේමරත්න මහත්මියගේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින්, හදිසි මරණ පරීක්ෂක එන්. ඩී. බී. කරුණාතිලක මහතා නිගමනය කළේ මෙය ඩෙංගු රක්තාපාත උණ හේතුවෙන් විෂබීජ එකතුවී බහු අවයව අකර්මණ්‍ය වීමෙන් සිදු වූ මරණයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



