සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ ජීවිතය ආරක්ෂා කර දීම, රැඳවුම් නියෝග ඉවත් කර දීම සහ ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිෂන් සභාව නිකුත් කර ඇති නිල මාධ්‍ය නිවේදනයට අනුව, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අනෙක් සැකකරුවන් වන්නේ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ (චරිත් අබේසිංහ) සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂාහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයවලුන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් නියෝග මත රඳවා සිටි ‘හරක් කටා’ නමැත්තා විමර්ශන කටයුතුවලින් නිදහස් කර දීම සහ අවශ්‍ය වෙනත් පහසුකම් සලසා දීම වෙනුවෙන් පසුගිය 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී ඔහුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවත් පසුව එම අල්ලස් ඉල්ලීම රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩු කර ඇති අතර, ඉන් අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12ක) මුදලක් මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව අල්ලස් කොමිෂන් සභාව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ඉදිරි පියවර සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.



