30.5 C
Galle

චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි

Published:

චීනයේ ඉතා ඉහළ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වන ‘Dear You’ චිත්‍රපටය, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි සිංගප්පූරුවේ ජනතාව අතර තමන්ගේ සංස්කෘතික හා භාෂාමය අනන්‍යතාවය පිළිබඳ පැරණි මතකයන් අවදි කරමින් දැඩි ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

පවුල, බලාපොරොත්තුව සහ ජීවන අරගලය තේමා කරගත් මෙම සිනමාපටය සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාණය කර ඇත්තේ චීනයේ චාඕෂෑන් (Chaoshan) කලාපයට අයත්, අග්නිදිග ආසියාවේ වෙසෙන වයස්ගත චීන ප්‍රජාව තවමත් භාවිත කරන ‘ටියෝචව්’ (Teochew) ප්‍රාදේශීය භාෂාවෙනි.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කිරීමේදී එහි මුල් භාෂාව වෙනුවට මැන්ඩරින් (Mandarin) භාෂාවෙන් හඬකවා ප්‍රදර්ශනය කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟ සිංගප්පූරු වැසියන්ගේ දැඩි නොසන්සුන්තාවක් සහ විරෝධයක් මතු විය. චිත්‍රපටය එහි මුල් ටියෝචව් භාෂාවෙන්ම නැරඹීමට ජනතාව තුළ ඇති වූ දැඩි උනන්දුව නිසාම, සීමිතව ප්‍රදර්ශනය කළ විශේෂ දර්ශන වාර කිහිපයක ප්‍රවේශ පත්‍ර විනාඩි කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විකිනී අවසන් වූ බව වාර්තා වේ.

ජනතාවගෙන් එල්ල වූ මෙම දැඩි ඉල්ලීම හමුවේ සිංගප්පූරු තොරතුරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාදේශීය භාෂා සහිත චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී ඉදිරියේදී වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මෙම සිදුවීමත් සමඟ, සිංගප්පූරු රජය විසින් චීන සම්භවයක් සහිත සිය වැසියන් සඳහා ප්‍රාදේශීය උපභාෂා වෙනුවට මැන්ඩරින් භාෂාව පමණක් භාවිත කිරීමට දශක කිහිපයක සිට ක්‍රියාත්මක කරන ලද දීර්ඝකාලීන ප්‍රතිපත්තිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සහ දේශපාලන කරළියේ දැඩි සංවාදයක් ඇති වී තිබේ.

සමහර පිරිස් මෙම චිත්‍රපටය එහි මුල් භාෂාවෙන්ම නැරඹීම සඳහා අසල්වැසි මැලේසියාව වෙත සංචාරය කිරීමට පවා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

1980 දශකයේදී රජය විසින් ආරම්භ කළ ‘මැන්ඩරින් භාෂාව කතා කිරීමේ ව්‍යාපාරය’ (Speak Mandarin Campaign) හේතුවෙන් එතෙක් ජනතාව බහුලව භාවිත කළ ටියෝචව්, හොකියන් (Hokkien), කැන්ටනීස් (Cantonese) සහ හක්කා (Hakka) වැනි සාම්ප්‍රදායික භාෂාවන් සිනමා ශාලා, ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණි.

1979 දී සිංගප්පූරුවේ චීන පවුල්වලින් සියයට 70කට ආසන්න පිරිසක් නිවෙස් තුළ මෙම උපභාෂාවන් කතා කළ ද, රජයේ දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් 2020 වසර වෙද්දී එය සියයට 8.7 දක්වා දරුණු ලෙස පහත වැටී ඇත.

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ සහ නන්යැන්ග් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පෙන්වා දෙන්නේ මැන්ඩරින් යනු පාසල් මඟින් පසුව ආරූඪ කරන ලද භාෂාවක් වන අතර, මෙම උපභාෂාවන් යනු සිංගප්පූරු චීන ප්‍රජාවගේ සැබෑ මුල් අක්මුල් සහ සංස්කෘතික උරුමයන් අඩංගු සජීවී ගබඩාවන් බවයි.

මෙම භාෂාමය සීමාවන් ලිහිල් කරමින් සංස්කෘතික විවිධත්වයට ඉඩ දීමට දැන් කාලය පැමිණ ඇති බවට දේශපාලනඥයින් සහ සිනමාකරුවන් පවා අදහස් දක්වමින් කියා සිටිති. තාරුණ්‍යය අතර සිය මුතුන්මිත්තන්ගේ උරුමයන් සෙවීමේ නැඹුරුවක් වත්මනේදී දක්නට ලැබුණද, එදිනෙදා භාවිතයෙන් ඈත්වෙමින් පවතින මෙම සාම්ප්‍රදායික භාෂාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර අනාගතයේදී සම්පූර්ණයෙන්ම අභාවයට යාමේ දැඩි අවදානමක් පවතින බව විද්වත්හු වැඩිදුරටත් අනතුරු අඟවති.

Related articles

spot_img
error: Content is protected !!