තෙල්දෙනිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක (Physiotherapist) සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා (OIC) නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර මැණික්හින්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අයෙකු බව පොලිසිය පවසයි.
පසුගිය ජූනි 17 වැනිදා තෙල්දෙනිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී මෙම භෞතචිකිත්සකවරියගේ මළසිරුර සොයාගැනුණු අතර, ඒ පිළිබඳව දැනටමත් පුළුල් විමර්ශන රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. පොලිසිය සඳහන් කළේ දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව ලද තොරතුරු මත මෙම උසස් පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය සහ තෙල්දෙනිය පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.



