27.3 C
Galle

රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්

Published:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අතිඋදම් අයුරින් විවෘත කරන ලද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා (Ayodhya) නුවර පිහිටි ඓතිහාසික රාම් මන්දීර් (Ram Mandir) හින්දු කෝවිල වෙත බැතිමතුන් පූජා කළ රුපියල් කෝටි ගණනක පඬුරු සහ දේපළ වංචා කිරීමේ මහා පරිමාණ දූෂණ චෝදනාවක් මුල් කරගනිමින් ඉන්දියාව තුළ දැඩි දේශපාලන සහ සමාජීය ආන්දෝලනයක් හටගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක අතුරු වාර්තාවක් සැලකිල්ලට ගනිමින් අයෝධ්‍යා පොලිසිය විසින් පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ගෞරව් ග්‍රෝවර් මහතා තහවුරු කර ඇත.

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේදී විවෘත කරන ලද මෙම තෙමහල් මහා විහාර සංකීර්ණය වසරකට බැතිමතුන් කෝටි 5කට ආසන්න පිරිසක් පැමිණෙන ඉන්දියාවේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. 2024-25 මූල්‍ය වර්ෂය තුළ පමණක් මෙම කෝවිල රුපියල් බිලියන 3.27ක (ඇමරිකානු ඩොලර් මිලියන 35ක) වාර්ෂික ආදායමක් වාර්තා කර ඇති අතර, එය ඉන්දියාවේ වැඩිම ආදායම් ලබන දේවාල අතරින් එකකි.

කෙසේ වෙතත්, කෝවිල භාරව කටයුතු කරන ස්වාධීන භාරකාරීත්වයේ ගිණුම් අංශය අධීක්ෂණය කළ මහීපාල් සිං නමැති නිලධාරියා විසින් කෝවිලට ලැබෙන මුදල්, රන්, රිදී සහ වටිනා ආභරණ හැසිරවීමේදී සිදුවන බරපතළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මුලින්ම අනාවරණය කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳව අභ්‍යන්තරව ප්‍රශ්න කිරීම නිසා ඔහුව තනතුරෙන් ඉවත් කර ඇති අතර මේ වන විට තමාට මරණ තර්ජන පවා එල්ල වෙමින් පවතින බවයි.

හිටපු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයෙකු සහ සමාජවාදී පක්ෂයේ නායක අඛිලේශ් යාදව් (Akhilesh Yadav) මහතා ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් මෙම සිදුවීම මුල් කරගනිමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සහ භාරතීය ජනතා පක්ෂයෙන් (BJP) සෘජුවම කරුණු විමසා සිටිති.

බැතිමතුන් පූජා කළ රුපියල් මිලියන 70කට (කෝටි 7කට) අධික මුදලක් මේ වන විට අතුරුදන් වී ඇති බවට චෝදනා එල්ල වන අතර, මෙම විමර්ශනය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ පවතින ස්වාධීන කණ්ඩායමක් වෙත පවරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත් වී තිබේ.

රාම් මන්දීර් කෝවිල පාලනය කරන ‘ශ්‍රී රාම් ජන්මභූමි තීර්ථ ක්ෂේත්‍ර’ භාරය (Shri Ram Janmabhoomi Teerth Kshetra Trust) මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එහි ප්‍රධාන ලේකම් චම්පත් රායි මහතා ප්‍රකාශ කළේ දිනපතා පඬුරු ගණන් කිරීමේ කටයුතු රාජ්‍ය බැංකු නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් විනිවිදභාවයකින් යුතුව සිදුවන බවයි.

මේ අතර උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් (Yogi Adityanath) මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ විශේෂ විමර්ශන කණ්ඩායම (SIT) සිය පරීක්ෂණ අවසන් කරන තෙක් ඉවසීමෙන් පසුවන ලෙසත්, වංචාවට සම්බන්ධ තොරතුරු තිබේ නම් ඒවා විමර්ශකයින් වෙත ලබාදෙන ලෙසත්ය. දශක ගණනාවක ආගමික සහ දේශපාලනික මතභේදයකින් පසුව ඉදිවූ මෙම පූජනීය භූමිය තුළ මෙවැනි දූෂණ චෝදනා එල්ල වීම සමස්ත හින්දු භක්තිකයින්ගේ දැඩි කනස්සල්ලට හා කම්පනයට හේතු වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!