30.5 C
Galle

බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට

Published:

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකින් පහළට ඇද වැටී දුම්රිය මාර්ගයට පෙරළීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 42 දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) අලුයම 1.10ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් බේරාගෙන දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්. කේ.එල්.එම්. වීරසේකර මහතා සඳහන් කළේ රෝහල් ගත කළ පිරිසෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ මට්ටමක පැවති බවයි. ඒ අනුව ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

තුවාල ලැබූවන් අතරින් තවත් පුද්ගලයින් අටදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත්, රෝහලේ ප්‍රතිකාර ලබන සෙසු පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවත් වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය ප්‍රපාතයෙන් පහළට පෙරළී දුම්රිය පීලි මත රැඳී තිබූ අතර, අනතුර පිළිබඳව දියතලාව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!