චීනයේ බීජිං අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලක් වන ‘සිටික් ටවර්’ (CITIC Tower) හෙවත් ‘චයිනා සුන්’ (China Zun) ගොඩනැගිල්ලේ ඊයේ (26) සන්ධ්‍යාවේ මෝටර් රථයක ප්‍රමාණයේ කුඩා ගුවන් යානයක් ගැටී අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බීජිං නුවර මධ්‍යම වාණිජ දිස්ත්‍රික්කයේ පිහිටි, මහල් 108 කින් යුත් මෙම දැවැන්ත ගොඩනැගිල්ල චීන රජයට අයත් ‘සිටික් ගෲප්’ (CITIC Group) ව්‍යාපාරික ජාලයේ ප්‍රධාන මූලස්ථානය ද වෙයි.
දේශීය වේලාවෙන් ඊයේ පස්වරු 6.00 ට පමණ ගිනිකෙළි හඬකට වඩා තදබල ශබ්දයක් නිකුත් කරමින් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් ගොඩනැගිල්ලේ ඉහළ මහලක පිහිටි වීදුරු පැනල දෙකකට හානි සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ චීන ආරක්ෂක අංශ ගොඩනැගිල්ල අවට මාර්ග වසා දමා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, පොලිස් රථ සහ ගිනි නිවන රථ රැසක් ද එම ස්ථානයට කැඳවා තිබේ.
කෙසේ වෙතත්, රාජකාරි වේලාවෙන් බැහැරව සිදුවූවක් බැවින් නගර බලධාරීන් මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් හෝ තොරතුරක් මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.
අනතුර සිදුවූ ස්ථානය අසල සිටි පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානයේ කොටසක් ගොඩනැගිල්ලෙන් පිටතට නෙරා ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් තමා පටිගත කළ ද, පොලිසියට හසුවීමේ බිය නිසා එය පසුව මකා දැමූ බවයි. එමෙන්ම, තවත් පිරිසක් පවසන්නේ ගොඩනැගිල්ල අසල මාර්ගයක තිබූ කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ විශාල වස්තුවක් නිල් පැහැති ටාපොලින් කවරයකින් වසා දමා තිබෙනු තමන් දුටු බවයි.
චීන ආරක්ෂක අංශ මේ වන විට ප්‍රදේශයේ රැස්ව සිටින පිරිස් වෙත ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, දැනටමත් ලබාගෙන ඇති දර්ශන ජංගම දුරකථනවලින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී. එමෙන්ම චීන සමාජ මාධ්‍ය ජාලාවලින් ද මෙම සිදුවීමට අදාළ සියලුම සටහන් සහ දර්ශන ඉතා වේගයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
අධි ආරක්ෂිත කලාපයක් වන බීජිං අගනුවර මධ්‍යයට මෙවැනි ගුවන් යානයක් ඇතුළු වීම අතිශය අසාමාන්‍ය සිදුවීමක් වන අතර, මෙම අනතුර හදිසියේ සිදුවූවක් ද නැතහොත් හිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.



