30.1 C
Galle

රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට

Published:

කොස් ගසක් යට ඉදී වැටී තිබූ වැල ගෙඩියක ඇට එකතු කිරීමට ගිය හැටපස් හැවිරිදි දෙදරු මවකගේ හිස මතට තවත් කොස් පොකුරක් කඩා වැටීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්ගම බෝපගොඩ පදිංචිව සිටි සපරමාදු මාලනී නැමැති කාන්තාවකි.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව කොස් ඇට එකතු කිරීම සඳහා භාජනයක් ද රැගෙන කොස් ගස යටට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. ඇය කොස් ඇට එකතු කිරීමට රැගෙන ගිය භාජනය සහ ඉදුණු වැල ගෙඩියක් ද අමු කොස් ගෙඩි කිහිපයක් ද කොස් ගස මුල දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ සිටි මියගිය කාන්තාවගේ ලේලිය වන පුංචි හේවගේ චතුරිකා හර්ෂණී නැමැති අය සිද්ධිය සම්බන්ධව මෙසේ පැවසුවාය,

“මියගොස් සිටින්නේ මගේ සැමියාගේ අම්මා. නිවසේ මමත්, සැමියාත්, සැමියාගේ නැගණියත් ඉන්නවා. අද උදේ (27) මේ හැමෝම වැඩවලට එළියට ගියා. අම්මත් මමත් ගෙදර වැඩකටයුතු කළා. අම්මා උදේ පොළටත් ගිහින් ආවා, බයිට් අරගෙන ආවා. මම ඒවා කාලා නිදාගන්න ගියා. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා, ඒ අපහසුතා නිසා තමයි මම නිදාගන්න ගියේ.

මට උදේ එකොළහයි තිහට විතර ඇහැරුණා. බඩගින්නක් ආපු නිසා මම කුස්සියට ගිහින් බත් කෑවා. බලනකොට අම්මා රෙදි ටික වේලෙන්න දාලා තිබුණේ නැහැ. වෙනදාට අම්මා රෙදි වේලෙන්න දානවා. මට අමාරු නිසා ඒ වැඩ ඔක්කොම කරන්නේ අම්මා තමයි. මම රෙදි ටිකත් අරගෙන ගෙදර ඉස්සරහ පැත්තට ගියා රෙදි ටික වැලට දාන්න. ඉස්සරහ උළුවස්ස ළඟට යනකොටම මම දැක්කා අම්මා මිදුලේ කොස් ගස අසල වැටිලා ඉන්නවා. මම රෙදි ටිකත් එහෙමම දාලා දුවලා ගිහින් බැලුවා.

අම්මා පැත්තට වැටිලා හිටියා, මුකුත් කතා කළේ නැහැ. මට බය හිතුණා. මම වටේපිටේ අයට කෑගහලා කතා කළා. ඒගොල්ලෝ දුවගෙන ඇවිත් අම්මව උස්සලා ගත්තා. අපි අම්මව රත්ගම රෝහලට ගෙනිච්චා. රෝහලේදී වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා කිව්වා අම්මා මියගිහින් කියලා.”

සිද්ධිය සම්බන්ධ හදිසි මරණ පරීක්‍ෂණය ගාල්ල ජාතික රෝහලේදී රත්ගම හදිසි මරණ පරීක්ෂක බී.එම්.ඒ. සාගරිකා නිල්මිණී මහත්මිය විසින් සිදු කරන ලද අතර, අධිකරණ වෛද්‍ය නිලධාරී පබසරා ගුණසිංහ මහත්මියගේ වාර්තාවට අනුව මෙය මොට බලයකින් හිසට සහ කොඳු ඇට පෙළට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවට තීරණය කෙරිණි. රත්ගම පොලිසියේ රථ වාහන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා විසින් මරණ පරීක්‍ෂණයේ සාක්ෂි මෙහෙයවනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!