29.4 C
Galle

රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට

Published:

දිවයින පුරා සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින්, නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියදුරන්ට ස්ථානීය රථවාහන දඩ (On-the-spot) පත්‍රිකා නිකුත් කිරීම වෙනුවට ඔවුන්ව සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා විසින් මෙම නව තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

පොලිස් වාර්තාවලට අනුව, මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 26 වැනිදා දක්වා කාලය තුළ පමණක් දිවයින පුරා මාරක රිය අනතුරු 1,292ක් වාර්තා වී ඇති අතර, ඉන් මිනිස් ජීවිත 1,357ක් අහිමි වී තිබේ. මීට අමතරව එම කාල සීමාවේදීම බරපතළ තුවාල සිදුවූ අනතුරු 2,512ක් සහ සුළු අනතුරු 5,059ක් ද වාර්තා වී ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර පදිකයින් 467 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 465 දෙනෙකු සිටින බව ද පොලිසිය සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අධික වේගය සහ නොසැලකිලිමත් ධාවනය මෙම සියලු මාරක මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතු සාධක වී ඇති බවයි. ඒ අනුව, මාර්ග විනය උල්ලංඝනය කරමින් මහජන ජීවිත අනතුරේ හෙළන රියදුරන් මින් ඉදිරියට කිසිදු ලිහිල් දඬුවමකින් තොරව නීතිය හමුවට පමුණුවන ලෙස රථවාහන පොලිසියට උපදෙස් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!