29.4 C
Galle

අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි

Published:

සතුන් ආරක්ෂා කරන සහ සතුන් ජීවිතක්ෂයට පත් නොකරන (No-kill) බව පවසමින් පවත්වාගෙන ගිය උතුරු කැලිෆෝනියාවේ පිහිටි ප්‍රසිද්ධ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක භූමියෙන් වෙඩි තබා ඝාතනය කරන ලද සුනඛයින් 117 දෙනෙකුගේ සිරුරු ඇතුළු තවත් සත්ව අවශේෂ රැසක් සොයා ගැනීමට අමෙරිකානු ආරක්ෂක අංශ සමත්ව තිබේ.

කැලිෆෝනියාවේ ෆෝචූනා (Fortuna) ප්‍රදේශයේ පිහිටි ‘මිරැන්ඩාස් රෙස්කියු’ (Miranda’s Rescue) සත්ව අභයභූමියට අයත් අක්කර 50ක පමණ විවෘත භූමියක් කැණීම් කිරීමේදී මෙම මහා පරිමාණ සුනඛ සුසාන භූමිය අනාවරණය කරගත් බව හම්බෝල්ට් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය (Humboldt County Sheriff’s Office) පවසයි.

මෙම පරිශ්‍රය තුළ තිබී සුනඛ කරපටි 600කට ආසන්න ප්‍රමාණයක්, තවත් සුනඛ හිස්කබල් 21ක් සහ වෙනත් අස්ථි කොටස් රැසක් ද විමර්ශකයින් විසින් සොයාගෙන ඇත. මෙලෙස හමුවූ සිරුරු 70ක් එක්ස්-රේ (X-ray) පරීක්ෂණවලට ලක් කිරීමේදී ඒවායේ තිබී උණ්ඩ කැබලි හමුවී ඇති අතර, බහුතරයක් සතුන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මූලික පරීක්ෂණවලින් සනාථ වී තිබේ. එමෙන්ම මෙම සුනඛයින්ව ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන ගොවිපොළ මඩුවක් ද ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇත.

මෙම සත්ව මධ්‍යස්ථානය වෙත 2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා සතුන් 900ක් පමණ රැගෙනවිත් තිබුණ ද, ඉන් සතුන් හදාගැනීම සඳහා ලබාදී ඇත්තේ 116 දෙනෙකුට පමණක් බවත්, ඉතිරි සතුන් 700කට අධික පිරිසක් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවත් ෂෙරිෆ් විලියම් හොන්සාල් මහතා ප්‍රකාශ කළේය.

සතුන්ට වධහිංසා පැමිණවීම, මූල්‍ය වංචා සහ කුමන්ත්‍රණ යන බරපතළ චෝදනා යටතේ පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම මධ්‍යස්ථානයට එරෙහිව රහසිගත විමර්ශනයක් ක්‍රියාත්මකව තිබුණේ අසල්වැසියෙකු විසින් රහසිගතව එහි ඇතුළු වී වළ දමා තිබූ සුනඛ සිරුරු කිහිපයක් ගොඩගැනීමෙන් පසුවය.

මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්ව මධ්‍යස්ථානයේ අයිතිකරු සහ ක්‍රියාකරු වන ෂැනන් මිරැන්ඩා (Shannon Miranda) ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය සහ අසම්පූර්ණ ඒවා බවයි. තම ආයතනය සතුන් නොමරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත්, සතෙකු අධික ලෙස රෝගාතුර වූ අවස්ථාවක හෝ වෙනත් සතුන්ට සහ මිනිසුන්ට බරපතළ තර්ජනයක් වන අවස්ථාවකදී පමණක් ඉතා කලාතුරකින් සතුන් නිද්‍රාවට පත් කිරීමට (Euthanise) කටයුතු කරන බවත් ඔහු පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරැන්ඩාට එරෙහිව මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් ගොනු කර නොමැති අතර, ප්‍රමාණවත් සාක්ෂි ලැබුණු වහාම නඩු පැවරීම සඳහා නීති අංශ වෙත කරුණු වාර්තා කරන බව පවසන ෂෙරිෆ් කාර්යාලය, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඉවසීමෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!