ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇතැයි පැවසෙන යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් මතුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලබන 4 වැනිදා මහජන අදහස් විමසීමේ වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, එදින නීතීඥ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම අදාළ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමටද නීතීඥ සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ අතර, පහළ අධිකරණ විනිසුරුවරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමයද මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 11 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇත.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ මතය
පසුගිය දිනක මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු අධිකරණ අමාත්‍යවරයකු සහ ප්‍රවීණ නීතිවේදියකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කිසිදු හදිසි අවශ්‍යතාවක් නොපෙනෙන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, රට ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුද රැසකට මුහුණ දී සිටියදී මෙවැනි යෝජනාවකට ප්‍රමුඛතාව ලබාදීම ප්‍රශ්නකාරී බවය. නීතීඥ ප්‍රජාව, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු බොහෝ පාර්ශ්ව මේ වනවිටත් ඊට විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය පීරිස් අවධාරණය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් පවතින අතර ඒවා පිරවීම වෙනුවට දැනට සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීම තාර්කික නොවන බවයි.
ඔහුට අනුව, පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීමෙන් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ උසස්වීම් අවහිර වන අතර, එය අධිකරණ සේවයේ අභ්‍යන්තර අතෘප්තිය වැඩි කිරීමට හේතු වන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, සේවා දිගුවක් ලබාදීමෙන් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද වන අතර, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන්ට දැඩි බලපෑමක් සිදුවන බවය.
එවැනි තත්ත්වයක් තුළ අධෛර්යයට පත්වන විනිසුරුවරුන්ගේ තීන්දු ලබාදීමේ ගුණාත්මකභාවය පවා අඩාල විය හැකි බවත්, එය අවසානයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හා මහජන විශ්වාසයට හානියක් වන බවත් ඔහු අවධාරණය කළේය.
මහාචාර්ය පීරිස්ගේ අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සංයුතියයි.
ඔහු ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සම්පූර්ණ විය යුතු කොමිෂන් සභාවක් මාස දෙකකට අධික කාලයක් අසම්පූර්ණ සංයුතියකින් ක්‍රියාත්මක වූ බවත්, එම කාලය තුළ උසස්වීම්, ස්ථාන මාරු සහ විනය පරීක්ෂණ වැනි වැදගත් තීරණ රැසක් ගෙන තිබීම බරපතළ ව්‍යවස්ථාමය ගැටලුවක් මතු කරන බවත්ය.
සමානත්වයේ මූලධර්මයට පටහැනිද?
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට පමණක් සේවා දිගුවක් ලබාදීම රාජ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීය කණ්ඩායම් සම්බන්ධයෙන් සමානත්වයේ මූලධර්මය උල්ලංඝනය කිරීමක් විය හැකි බවයි.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ වෙනත් උසස් වෘත්තීය කණ්ඩායම්වල විශ්‍රාම වයස වෙනස් නොකර එක් කණ්ඩායමකට පමණක් වරප්‍රසාද ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියේ සඳහන් සමානව සැලකීමේ මූලධර්මයට ගැටලුවක් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ මතය අනුව, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම යනු හුදෙක් පරිපාලන තීරණයක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය, විනිසුරු උසස්වීම් ක්‍රමවේදය, රාජ්‍ය සේවයේ සමානතාව සහ මහජන විශ්වාසය යන කරුණු සියල්ලටම සෘජුව බලපාන ප්‍රතිපත්තිමය තීරණයකි.
ඒ හේතුවෙන් මෙවැනි සංශෝධනයක් සිදුකිරීමට පෙර පුළුල් මහජන හා වෘත්තීය සංවාදයක් අත්‍යවශ්‍ය බවත්, අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීම විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.



