තායිලන්තයේ ඊසානදිග මුක්දහන් (Mukdahan) ප්‍රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් පදවන ලද පිකප් රථයක් පාගමනින් වැඩි භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ඇඟට කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා නව නමක් (9) අපවත් වී තවත් කිහිප නමක් බරපතල තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.
ආගමික වතාවත්වල යෙදෙමින් පාගමනින් වඩිමින් සිටි 35 නමකගෙන් යුත් භික්ෂු කණ්ඩායමකට සහ ඔවුන් සමඟ ගමන් කළ දායකයින් පස් දෙනෙකුට මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දීමට සිදුව ඇත. අනතුර සිදුවූ ස්ථානයේදීම භික්ෂූන් වහන්සේලා පස් නමක් අපවත් වී ඇති අතර අනෙක් සිව් නම රෝහල් ගත කිරීමෙන් පසු අපවත් වූ බව පොලිසිය තහවුරු කළේය.
පොලිස් වාර්තාවලට අනුව, මෙම 11 හැවිරිදි දරුවා සිය දෙමාපියන්ට අයත් රථය ඔවුන්ගේ අවසරයකින් තොරව පදවාගෙන විත් ඇති අතර, එහිදී රථයේ පාලනය ගිලිහී ගොස් මෙම අනතුර සිදුකර ඇත. අනතුර සිදුවන දිනයේ දරුවා අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් පාසල් ගොස් නොමැති අතර නිවසේ වෙනත් කිසිවෙකුත් සිට නොමැත. පසුව නිවසේ තිබූ රථය අතුරුදන් වී ඇති බව දැනගත් භාරකරුවන් ඒ පිළිබඳව පොලිසියටද දැනුම් දී තිබේ.
මූලික විමර්ශනවලට අනුව මෙම දරුවා විශේෂ අවශ්‍යතා සහිත (Special Needs) දරුවෙකු බවට තොරතුරු ලැබී ඇති අතර, දැනට ඔහු වෛද්‍යවරුන් සහ භාරකරුවන්ගේ විශේෂ රැකවරණය යටතේ පසුවන බව පොලිස් මේජර් ජෙනරාල් පයිරොජ් තායිපුත්සා ප්‍රකාශ කළේය.
අනතුරින් දිවි බේරාගත් ප්‍රා සොම්පොන් නමැති භික්ෂූන් වහන්සේ නමක් අදහස් දක්වමින් කියා සිටියේ, තමන් වහන්සේලා “බුද්ධෝ, බුද්ධෝ” යන මන්ත්‍රය ගායනා කරමින් වඩිමින් සිටියදී අධික වේගයෙන් පැමිණි පිකප් රථය එකවරම තමන් දෙසට කඩා වැදුණු බවයි. තමන් වහන්සේ ඇතුළු තවත් හිමිනමකට පාරෙන් ඉවතට පැන දිවි බේරා ගැනීමට හැකි වුවද, අනෙක් භික්ෂූන් වහන්සේලා රථයේ වැදී විසිවී ගිය බව උන්වහන්සේ සංවේගයෙන් යුතුව සිහිපත් කළහ.
මේ වන විට තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේලා තෙනමකගේ ද තත්ත්වය අසාධ්‍ය මට්ටමක පවතින අතර, මුක්දහන් රෝහල විසින් තුවාල ලැබූ හිමිවරුන් උදෙසා හදිසි ලේ දන්දීමේ කටයුත්තකට දායක වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.
මුක්දහන් ප්‍රාන්ත ආණ්ඩුකාර වොරයාන් බුන්නරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ඛේදවාචකය සමස්ත තායිලන්තයේම මාර්ග ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් සහ වැඩිහිටියන් මීට වඩා දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවට අනතුරු ඇඟවීමක් කරන බවයි.



