වෙනිසියුලාවේ පසුගිය ජුනි 24 වැනිදා සිදුවූ ද්විත්ව භූමිකම්පාවෙන් (Twin Earthquakes) කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (8) තිස්සේ සිරවී සිටි හර්නන් ගිල් (Hernán Gil) නමැති පුද්ගලයෙකු ආශ්චර්යමත් ලෙස පණපිටින් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
ටොන් 140ක කොන්ක්‍රීට් සහ යකඩ සුන්බුන් තට්ටුවකට යටින් ඔහු සිටින බව මුලින්ම හඳුනාගෙන තිබූ අතර, එතැන් සිට පැය 100කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ අතිශය අවදානම් සහගත මෙහෙයුමකින් පසුව ඔහුව මුදා ගැනීමට හැකි වී ඇත. මෙම මෙහෙයුමට සහභාගී වූ චිලී රාජ්‍යයේ ගිනි නිවන භටයෙකු ප්‍රකාශ කළේ, මෙය තමන් මුහුණ දුන් “වඩාත්ම සංකීර්ණ සහ තාක්ෂණික වශයෙන් දුෂ්කරම” මුදාගැනීමේ මෙහෙයුම වූ බවයි.
භූමිකම්පාවෙන් මේ වන විට පුද්ගලයින් 2,300කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් දස දහස් ගණනක් අතුරුදන්ව සිටිති. එවැනි පසුබිමක සෙනසුරාදා දිනයේදී ගිල් සිටින ස්ථානය සොයා ගැනීමෙන් පසු ඔහුව බේරා ගැනීම සඳහා කාලයත් සමඟ දැඩි සටනක් දියත් විය. මේ සඳහා වෙනිසියුලාව, චිලී, කොස්ටාරිකා, එල් සැල්වදෝරය, මෙක්සිකෝව, පෘතුගාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් හතක (7) සහන සේවා නිලධාරීන් සිය ගණනක් එක්ව කටයුතු කළහ.
ඔහු වෙත ළඟා වීම සඳහා සහන සේවකයින් විසින් සකස් කරන ලද උමං මාර්ග කිහිප වතාවක්ම කඩා වැටුණු අතර, එය ගිල්ගේ මෙන්ම සහන සේවකයින්ගේ ද ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කළේය. පසුව කුඩා කැමරාවක් ඇතුළත් කර ඔහු සමඟ සෘජු දෘශ්‍ය සන්නිවේදනයක් ඇති කර ගැනීමට සහන සේවකයින් සමත් විය. සුන්බුන් ඉවත් කිරීමේදී නිකුත් වන දූවිලිවලින් ආරක්ෂා වීම සඳහා කුඩා සිදුරක් තුළින් ඔහු වෙත මුහුණු ආවරණ (Mask) සහ ආරක්ෂිත කණ්ණාඩි (Goggles) ලබා දීමටද ඔවුහු පියවර ගත්හ.
ගිල් භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී ‘ගැලරියාස් ප්ලායා ග්‍රෑන්ඩ්’ (Galerias Playa Grande) වෙළෙඳ සංකීර්ණයට යාබද වාහන නැවැතුම් අංගනයේ බිම් මහලේ පිහිටි කුඩා කොන්ක්‍රීට් කුටියක සේවයේ නිරතව සිට ඇත. වෙළෙඳ සංකීර්ණය කඩා වැටීමේදී එම කොන්ක්‍රීට් කුටිය ආරක්ෂිත ආවරණයක් (Shell) ලෙස ක්‍රියා කිරීම නිසා, ඔහුට ඉහළින් තිබූ ටොන් 140ක සුන්බුන් තට්ටුවෙන් ඔහුගේ ජීවිතය බේරී තිබේ.
කොස්ටාරිකා රතු කුරුස සංවිධානයේ රිකාඩෝ ඒරියාස් ප්‍රකාශ කළේ, ගිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවයි. සුන්බුන් අතර සිටියදීම ඔහුට ජලය සහ සේලයින් (Intravenous drip) ලබා දීමට සහන සේවකයින් කටයුතු කර තිබුණි. “ඔහු අපට කිව්වා ඔහුගේ නියපොත්තකටවත් තුවාලයක් වෙලා නැහැ කියලා. ඔහු ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා,” ඒරියාස් පැවසීය.
මෙක්සිකානු රතු කුරුස සංවිධානයේ මාර්කෝ ඇන්ටෝනියෝ ප්‍රකාශ කළේ, ගිල් ඉතා සතුටු සිතින් පසුවන මිනිසෙකු බවයි. සුන්බුන් අතර සිරවී සිටියදී පවා ඔහු තමන් කැමති රසයන්ගෙන් යුත් ශක්තිජනක පාන වර්ග ඉල්ලා සිටි බවත්, තමන් ඒවා ඔහු වෙත ලබා දුන් බවත් ඇන්ටෝනියෝ පැවසීය. ඔහු නිරන්තරයෙන් සහන සේවකයින් දිරිමත් කරමින්, ඔවුන් සමඟ සුහදව කතාබස් කරමින් මෙහෙයුමට විශාල සහයෝගයක් ලබා දී තිබේ.



