31.1 C
Galle

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”

Published:

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා රජය සලකා බලමින් සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ අනවශ්‍ය මෙන්ම කිසිසේත්ම යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අවධාරණය කරයි.

පුළුල් මහජන උපදෙස් ලබා ගැනීමකින් තොරව, අත්තනෝමතික ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ද සිම්බාබ්වේ රාජ්‍යය මුහුණ දුන් බරපතළ අධිකරණ අර්බුදයකට ඇද වැටීමේ අවදානමක් පවතින බවට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ද මෙහිදී අනතුරු අඟවා තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබූ අතර, ඊට එක්වෙමින් එහි සභාපති, නීතිඥ රජිව් අමරසූරිය මහතා සඳහන් කළේ වත්මනයේ පිළිවෙලින් අවුරුදු 63 සහ 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමට රජය දරන උත්සාහයට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බවයි. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ දැඩි විරෝධය සහ ස්ථාවරය ඇතුළත් කරමින් සභාපතිවරයාගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මෙම මහජන සංවාද මණ්ඩපය සහභාගී වූ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers’ Association) සභාපති ස්ටීවන් තිරූ (Steven Thiru) මහතා පෙන්වා දුන්නේ, මෙහි ඇති ප්‍රශ්නය විශ්‍රාම වයස ඉහළ නැංවීම නොව, මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන කාලීන වටපිටාව, ක්‍රමවේදය සහ එහි පවතින විනිවිදභාවයෙන් තොරභාවය බවයි.

මේ සඳහා උදාහරණ දක්වමින් ඔහු කියා සිටියේ 2021 වසරේදී සිම්බාබ්වේ රාජ්‍යය ද එවකට සිටි අගවිනිසුරුවරයා විශ්‍රාම යාමට ආසන්නව සිටියදී, එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 සිට 75 දක්වා කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉහළ දැමූ බවයි. එම පියවර හේතුවෙන් එරට අධිකරණ පද්ධතිය කෙරෙහි පැවති මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර, එය විධායකයේ අනිසි බලපෑමක් ලෙස දැඩි දෝෂදර්ශනයට ලක් විය.

“ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ද සිම්බාබ්වේ රාජ්‍යය මුහුණ දුන් ආකාරයේම තීරණාත්මක ව්‍යවස්ථාමය සන්ධිස්ථානයකයි. එබැවින් සිම්බාබ්වේ අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ නායකත්වය වහාම පාඩම් උගත යුතුයි,” යනුවෙන් ස්ටීවන් තිරූ මහතා අනතුරු ඇඟවීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, අධිකරණයට බලපාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සැමවිටම විනිවිදභාවයකින් යුත් මහජන උපදෙස් හා සංවාද මගින් පමණක් සිදු කළ යුතු බවයි. එසේ නොමැතිව, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට පෞද්ගලිකව ප්‍රතිලාභ සැලසෙන අයුරින් හෝ අධිකරණයේ සංයුතියට බලපෑම් කරන ආකාරයෙන් හදිසියේ සිදුකරන මෙවැනි සංශෝධන හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බරපතළ ලෙස පළුදු වන බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ ය.

Related articles

spot_img
error: Content is protected !!