28.8 C
Galle

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?

Published:

මීගමුව බන්ධනාගාරයේ දින දෙකක් පුරා පැවති දරුණු ගැටුම් හේතුවෙන් මේවනවිට බන්ධනාගාර නිලධාරීන් හය දෙනෙකු සහ රැඳවියන් විසි දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 දෙනෙකු පමණ මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව නිල නොලත් වාර්තා අනුව සඳහන් වේ. බලධාරීන් පවසන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් තවත් කිහිපදෙනකු සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහලයෑමට ඉඩ ඇති බවයි.

ඉරිදා ආරම්භ වූ ගැටුම් සඳුදා (අද) උදෑසන යළිත් දරුණු ලෙස උත්සන්න වීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF), යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැඩි මෙහෙයුමක් දියත් කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද උදෑසන ආහාර බෙදාදීමේදී රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර නැවත ගැටුමක් හටගත් බවයි. එම ගැටුම පාලනය කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් පහරදී ඇති අතර, ඔවුන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දක්වා ලුහුබැඳ ගොස් ප්‍රහාර එල්ල කරමින් දොරටුව බිඳ දැමීමට උත්සාහ කර තිබේ.

ප්‍රධාන දොරටුව ආරක්ෂා කළ නිලධාරීන් ද රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්වීමත් සමඟ අතිරේක බන්ධනාගාර නිලධාරීන් කැඳවා අවම බලය යොදා තත්ත්වය පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසීය.

උදෑසන 10.00ට පමණ තත්ත්වය දැඩි ලෙස උණුසුම් වීමත් සමඟ රැඳවියන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එහිදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා වහාම රෝහල්ගත කර ඇත. බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදුවූ බවයි.

අනතුරුව පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයන් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු කර ආරක්ෂාව තර කර තිබේ.

බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති අතර, අහසින් නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ආරක්ෂක මෙහෙයුම් සඳහා සහාය ලබාදී තිබේ.

මෙම ගැටුම් ආරම්භ වී ඇත්තේ ඉරිදා දිනයේ රිමාන්ඩ් රැඳවියන් සහ දඬුවම් නියම වූ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම සිද්ධියෙන් දෙදෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා තිබූ අතර, එය තාවකාලිකව පාලනය කළද අද උදෑසන යළිත් ගැටුම් ඇවිළී තිබේ.

මේ වන විට දින දෙකක කාලය තුළ මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 80 ඉක්මවා ඇති බව නිල නොලත් සංඛ්‍යාලේඛන අනුව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!