28.9 C
Galle

මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට

Published:

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිට ආරක්ෂිත පියවරක් ලෙස බූස්ස සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් දෙදෙනෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ. මෙම නවතම මරණත් සමඟ මීගමුව බන්ධනාගාර ඛේදවාචකයේ සමස්ත මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. එසේම, මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ අනෙක් රැඳවියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම බරපතළ ආරක්ෂක සහ මානුෂීය තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා දිවයිනේ සියලුම බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (08) පෙරවරු 7.30ට හදිසි විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳව මෙන්ම සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයන් උද්ගතවීම වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.

පසුගිය 6 වනදා උදෑසන දෙවන වතාවටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු ගැටුමෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේ එදිනම ජීවිතක්ෂයට පත් වූහ. අද දින මියගිය නියාමකවරයා ද ඇතුළුව මියගිය සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 8කි. බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, ගැටුමට සම්බන්ධ රැඳවියන් ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැර දමා ප්‍රහාර එල්ල කර ඇති බව ආරක්ෂක අංශ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කළ අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ 20 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර, ගැටුමින් දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය. සහෝදර නිලධාරීන්ගේ සහ ඥාතීන්ගේ සෝ සුසුම් මැද අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු දිවයිනේ සෙසු බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බලධාරීන් පියවර ගත් අතර, මෙම ගැටුම මෙහෙයවූ බවට සැක කෙරෙන “කටුවැල්ලේගම සුරේෂ්” නමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ පිරිසට ඇතුළත් වේ. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් මට්ටමේ විමර්ශන රැසක් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!