30 C
Galle

මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම

Published:

මීගමුව බන්ධනාගාරය ඇතුළතින් තවමත් ඇසෙන්නේ මරණයේ විලාපයයි. ප්‍රතිවාදී මත්ද්‍රව්‍ය කල්ලි දෙකක් අතර හටගත් ගැටුම, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 26 දෙනෙකුට පමණ ජීවිත අහිමි කරමින්, තවත් 80කට අධික පිරිසකට තුවාල සිදු කරමින් කෙළවර වූයේ මුළු රටම කම්පා කරවමිනි. ගුවනින් ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටර් ද, බිමෙන් සන්නද්ධ හමුදාවන් ද කැඳවා මීගමුව තාවකාලිකව නිහඬ කළ ද, බන්ධනාගාර පද්ධතිය නමැති සක්‍රීය ගිනි කන්ද තවමත් නිවී නැත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා තමන් වෙත ලැබී ඇති නිශ්චිත තොරතුරු පදනම් කරගනිමින් පසුගියදා මාථ්‍ය සාකච්ඡාවකදී බරපතළ අනාවරණයක් සිදුකර තිබිණ. එනම්, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ විනාශකාරී තත්ත්වයට සමාන හෝ ඊටත් වඩා දරුණු ‘පිපිරීමක්’ (කැරැල්ලක්) මීළඟට ගාල්ල බන්ධනාගාරය තුළ ඇති වීමට ‘ඔන්න මෙන්න’ මට්ටමක පවතින බවයි.

කෙසේවුවද මෙය අගුනකොළපැළැස්සේ වුවද සිදුවීමට බොහෝ ඉඩකඩ පවතින බවට තොරතුරු වාර්ථා වී තිබේ.

නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙන පරිදි, සමස්ත ලංකාවේම පවතින බන්ධනාගාර 26 තුළ මානුෂීය ලෙස රඳවා තැබිය හැක්කේ රැඳවියන් 18,800ක් පමණි. නමුත් වර්තමානය වන විට 41,000කට ආසන්න පිරිසක් එහි ගාල් කර තිබේ.

මෙම පද්ධතිමය ප්‍රශ්නය ගාල්ලට හෝ අගුණලොළපැළැස්සට බන්ධනාගාර වලට ද අකුරටම පොදුය. ධාරිතාවට වඩා කිහිප ගුණයකින් රැඳවියන් රඳවා සිටීම නිසා සිරකරුවන් පසුවන්නේ දරුණු මානසික ආතතියකය. වැසිකිළි තුළ පවා නිදාගැනීමට සිදුවීම, අධික රස්නය සහ අවම සනීපාරක්ෂක පහසුකම්වත් නොමැති වීම නිසා රැඳවියන් සිටින්නේ ඕනෑම මොහොතක පාලනයෙන් ගිලිහී යන තත්ත්වයකය. එවැනි පරිසරයක, රැඳවියන් අතර ඇති වන ඉතා සුළු සිදුවීමක් වුවද මහා ලේ වැගිරීමක් දක්වා දුරදිග යාමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

නිලධාරී දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම

මීගමුව බන්ධනාගාර කැරැල්ලට මූලිකම හේතුව වූයේ බන්ධනාගාරය ඇතුළත සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ඔත්තු සැපයීමයි. මෙහිදී පැනනඟින බරපතළම ප්‍රශ්නය නම්, බන්ධනාගාරයේ උස් තාප්ප සහ සන්නද්ධ මුරකාවල් මඟහැර මෙතරම් විශාල ලෙස මත්ද්‍රව්‍ය ඇතුළට යන්නේ කෙසේද යන්නයි.

“බන්ධනාගාර නිලධාරීන්ගේ සෘජු අනුමැතිය, සහාය හෝ අනුග්‍රහය නොමැතිව බන්ධනාගාර ප්‍රාකාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු විය නොහැකියි.” – නීතිඥ සේනක පෙරේරා

එසේනම් ඔහු පවසන්නේ, දූෂිත නිලධාරී යාන්ත්‍රණය පාලනය කිරීමට අපොහොසත් වීම, සමස්ත බන්ධනාගාර පද්ධතියම අපරාධකරුවන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන බවට පත්වීමට ප්‍රධානතම හේතුව බව නොවේද?.

නීතියේ අසාධාරණය සහ වෘත්තීය නොවන පොලීසිය

බන්ධනාගාර මෙතරම් තදබද වීමට බලපාන තවත් පැත්තක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හෙළි කරයි. ලංකාවේ පවතින්නේ නීතිය අකුරටම ඉටුකරන වෘත්තීයමය පොලිස් සේවාවක් නොවන බවට චෝදනා කරන නීතිඥ පෙරේරා මහතා, ඇතැම් තරුණයන්ගේ සාක්කුවලට හිතාමතාම මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බව පවසයි. මෙලෙස ව්‍යාජ හෝ සුළු වැරදිවලට බන්ධනාගාරගත කරන පිරිස් බන්ධනාගාර තදබදය තවත් වැඩි කරන අතර, ඔවුන් දරුණු අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එකට සිරකිරීම තුළින් සමාජයට මුදාහැරෙන්නේ තවත් දරුණු අපරාධකරුවන් පිරිසකි.

දේශපාලන බලධාරීන්ගේ වගවීම සහ “සිස්ටම් චේන්ජ්” ප්‍රශ්නාර්ථය

බන්ධනාගාර පද්ධතියේ වගකීම සහ වත්මන් පාලකයන්ගේ ක්‍රියාකලාපය ද මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මහා විනාශයේ වගකීම වත්මන් රජය සෘජුවම භාරගත යුතු බවයි. “සිස්ටම් චේන්ජ්” හෝ පද්ධති වෙනසක් වෙනුවෙන් බලයට පත් වූ රජය, පද්ධතිය ප්‍රතිසංස්කරණය කරනු වෙනුවට එය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටින බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

වත්මන් ජනාධිපතිවරයා එදා විපක්ෂයේ සිටියදී වැලිකඩ සහ මහර බන්ධනාගාර ඝාතන සම්බන්ධයෙන් එවකට සිටි රජයන් වගකිව යුතු බවට දැඩිව ප්‍රකාශ කළ ආකාරය මෙහිදී දේශපාලන කරළිය නැවත මතක් කර දෙයි. එබැවින්, එදා තමන් දැරූ මතය අනුව යමින් වත්මන් රජයේ ප්‍රධානියා ලෙස මෙම පද්ධතිමය බිඳවැටීමේ වගකීමෙන් ඔහුට ද මිදිය නොහැක.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මීගමුව සිදුවීම පිළිබඳව කම්පනය පළ කරමින් වගකීම භාරගත්ත ද, ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග විවේචනයට ලක්වේ. මීට පෙර වැලිකඩ ඝාතන නඩුවක වරදකරු වී පසුව නිදහස් වූ එමිල් රංජන් නමැති බන්ධනාගාර නිලධාරියාගේ සේවය අගය කරමින් අමාත්‍යවරයා සම්මානයක් පිරිනැමීම, නීතිඥ සේනක පෙරේරා මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. බලධාරීන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීම තුළින් බන්ධනාගාර තුළ සිදු වන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බව ඔහු පවසයි.

“කුඩ්ඩන්” යන ලේබලය සහ මාධ්‍ය සන්නිවේදනයේ බිඳවැටීම

ප්‍රසිද්ධ මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා පෙන්වා දෙන්නේ බන්ධනාගාර ගැටලුව මෙතරම් ඔඩුදුවන්නට බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ පොදු සමාජයේ පවතින ආකල්පමය ගැටලුවක් බවයි. සමාජය විසින් සිරකරුවන් දෙස “කුඩ්ඩන්” හෝ “අපරාධකරුවන්” ලෙස පමණක් බලමින් කිසිදු සානුකම්පිත ආකල්පයක් නොදැක්වීම නිසා, බන්ධනාගාර ඇතුළත පවතින සැබෑ මානුෂීය අර්බුදය හඳුනා ගැනීමට රජයට හෝ සමාජයට වුවමනාවක් නැත. “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන්න තාප්පවලට පමණක් සීමා වී ඇත.

මීට අමතරව, බන්ධනාගාර බලධාරීන්ගේ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් ඥාතීන් දැඩි පීඩාවට පත්ව සිටිති. මීගමුවේදී මියගියේ කවුද, ජීවත් වන්නේ කවුද යන්න පිළිබඳව නිවැරදි තොරතුරක් ලබා නොදීම නිසා බන්ධනාගාරය ඉදිරිපිට රැස්වූ ඥාතීන් මහා මානසික පීඩාවකට ලක් විය.

මෙය එක් හුදකලා සිද්ධියක්ද?

මීගමුව බන්ධනාගාර කැරැල්ල යනු හුදෙක් සිරකරුවන් පිරිසකගේ කලහකාරී හැසිරීමක් පමණක් නොව, එය වසර ගණනාවක් තිස්සේ කුණු වී අස්ථාවර වී ඇති සමස්ත බන්ධනාගාර පද්ධතියේම දුර්වලතාවයේ පිළිබිඹුවකි. මීගමුවෙන් දුන් මාරාන්තික අනතුරු ඇඟවීම නොසලකා හැර, අනෙකුත් සිරගෙවල්වල පවතින අධික තදබදය සහ පාලන දූෂණයට වහාම විසඳුම් නොදුන්නහොත්, මීළඟ ලේ වැකි ‘පිපිරීම’ ගාල්ලෙන් හෝ අගුණකොළපැළැස්ස වැනි වෙනත් බන්ධනාගාරයකින් ඇසීම වැළැක්විය නොහැකි වනු ඇත.

තවත් සැලකිල්ලට ගත යුතු කරුණක්

මේ අතර, බන්ධනාගාර තුළ මෑතකදී වාර්තා වූ සිදුවීම් හුදෙක් අභ්‍යන්තර ගැටුම් පමණක්ද, නැතහොත් ඒවා පිටුපස පුළුල් සංවිධානාත්මක බලපෑම් තිබේද යන්න පිළිබඳව ද විවිධ අදහස් සහ විශ්ලේෂණ සමාජයේ ඉදිරිපත් වෙමින් පවතී.

ආරක්ෂක අංශවලට ලැබී ඇති බව කියන ඇතැම් තොරතුරුවලට අනුව, බන්ධනාගාර තුළ අස්ථාවරත්වයක් ඇති කිරීම, එය සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් උත්සන්න කිරීම සහ එමඟින් රට තුළ නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමේ උත්සාහයන් පිළිබඳව ද විමර්ශන සිදුවන බව වාර්තා වේ.

විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු, වෛරී ප්‍රචාර සහ වාර්ගික ආතතිය ඇති කළ හැකි අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවදානම පිළිබඳව ආරක්ෂක සහ තොරතුරු විශ්ලේෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද අවධානය යොමු කර ඇත.

ඒ අතරම, බන්ධනාගාර පද්ධතියේ අධික තදබදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, නිලධාරී දූෂණ චෝදනා, ප්‍රමාණවත් බුද්ධි තොරතුරු රැස්කිරීමේ දුර්වලතා සහ රැඳවියන්ගේ මානව හිමිකම් ගැටලු වැනි කරුණු ද මෙම අර්බුදය උග්‍ර කිරීමට බලපාන ප්‍රධාන සාධක ලෙස විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.

එබැවින්, මෙම ගැටලුවට විසඳුම වන්නේ කිසිදු එක් පාර්ශ්වයකට චෝදනා කිරීම පමණක් නොව, බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, බුද්ධි තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම යන කරුණු සමාන්තරව ක්‍රියාත්මක කිරීමයි.

මීගමුවෙන් ලැබුණු අනතුරු ඇඟවීම නිසි ලෙස සැලකිල්ලට නොගතහොත්, ගාල්ල, අඟුණකොළපැලැස්ස හෝ වෙනත් බන්ධනාගාරයක ද මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් මතු කරන අනතුරු ඇඟවීම් ද බැරෑරුම් ලෙස සලකා බැලීම අවශ්‍ය වේ. එහෙත් එවැනි සියලු තොරතුරු සම්බන්ධයෙන් අවසන් නිගමනවලට එළඹීමට පෙර, නිල විමර්ශනවල ප්‍රතිඵල සහ තහවුරු කළ හැකි සාක්ෂි මත පදනම් වීම අත්‍යවශ්‍යය.

Related articles

spot_img
error: Content is protected !!