මීගමුව බන්ධනාගාරයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් පිරිසක් කඩිනමින් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් සැලසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, අද (06) උදෑසන රැඳවියන්ට උදෑසන ආහාරය ලබාදීමට ගිය අවස්ථාවේදී රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර නැවතත් ගැටුමක් හටගෙන ඇති බවයි.
කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නැඟී විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අද ඇති වූ ගැටුම කාන්තා අංශයට සම්බන්ධ නොවන බවයි.
ඔහු පැවසුවේ සැකකරුවන් රඳවා සිටින පිරිමි බන්ධනාගාර කොටසේ පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලවලට සම්බන්ධ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මෙම සිද්ධියට මුල් වී ඇති බවත්, කාන්තා රැඳවියන්ගේ විරෝධය එම සිද්ධියට සහයෝගය පළ කිරීමක් ලෙස පෙනී යන බවත්ය.
කාන්තා රැඳවියන් විසින් කුඩා දරුවන්ට ආහාර ලබා නොදෙන බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම කරුණු මෙම ගැටුමට අදාළ නොවන බවයි.
බන්ධනාගාරයේ සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම සම්බන්ධයෙන් දැනට යෝජනාවක් පවතින බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ගජනායක මහතා ප්‍රකාශ කළේය.
මේ අතර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටින රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කලබල නොවන ලෙස ඉල්ලා සිටි ඔහු, රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ස්ථානයට පැමිණ මෙහෙයුම් අධීක්ෂණය කරන බවත් සඳහන් කළේය.
මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400කට ආසන්න පිරිසක් රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.



