පාකිස්තානයේ දකුණුදිග අන්තයේ පිහිටි කරච්චි නගරයේ මුහුදු තීරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී, කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති අතර එය සෙවීම සඳහා මේ වන විට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට කරච්චි බලා පියාසර කරමින් තිබූ මෙම ‘බෝයිං 737’ (Boeing 737) වර්ගයේ ගුවන් යානය, පසුගිය අඟහරුවාදා දින දේශීය වේලාවෙන් රාත්‍රී 21:21 ට (GMT 16:21) ගුවන් ගමන් පාලකවරුන් සමඟ පැවැති සන්නිවේදනය බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන්තොටුපළ අධිකාරිය නිවේදනය කළේය. සන්නිවේදනය ඇණහිටීමට මිනිත්තු කිහිපයකට පෙර යානයේ පද්ධති (Navigation System) දෝෂයක් පවතින බව යානය විසින් වාර්තා කර ඇති අතර, ඉන් අනතුරුව එය ඉතා වේගයෙන් පහළට ධාවනය වී ඇත.
ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත පද්ධතියක් වන Flightradar24 හි මූලික දත්තවලට අනුව ද සන්නිවේදනය විසන්ධි වීමට පෙර යානයේ උන්නතාංශයේ (Altitude) දැඩි උච්චාවචනයක් සහ වේගවත් පහළ බැසීමක් සටහන් වී තිබේ.
අතුරුදන් වූ යානය කරච්චි නුවර පදනම් කරගත් ‘K2 Airways’ නැමති පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයකට අයත් එකකි. නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එම ගුවන් සේවය තහවුරු කර සිටියේ යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනා කවුරුන්ද යන්න හඳුනාගෙන ඇති බවත්, ගුවන් යානය සෙවීමේ කටයුතු සඳහා පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු රජයේ ආයතන වෙත සිය උපරිම සහාය ලබා දෙන බවත්ය.
මේ වන විට පාකිස්තාන නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රැසක් එක්ව කරච්චි මුහුදු තීරයේ සෙවීම් මෙහෙයුම් කඩිනම් කර තිබේ. පාකිස්තානය තුළ මීට පෙර සිදු වූ මෙවැනිම දරුණුතම ගුවන් අනතුර වාර්තා වූයේ 2020 වසරේදී වන අතර, එහිදී කරච්චි ගුවන්තොටුපළට ගොඩබෑමට උත්සාහ කළ පාකිස්තාන ජාතික ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.



