බංග්ලාදේශයේ කොක්ස් බසාර් (Cox’s Bazar) වෙරළබඩ නගරයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරක් තුළ පවත්වාගෙන ගිය දැරියන්ගේ ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිසුවියන් හත්දෙනෙකු සහ එක් ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය බදාදා පස්වරුවේ සිදු වූ මෙම අනතුරත් සමඟ පස් හා සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදාගැනීම සඳහා දැවැන්ත සෙවීම් මෙහෙයුමක් වහාම ක්‍රියාත්මක කෙරිණි. අනතුර සිදුවන අවස්ථාවේදී පාසල් කුටිය තුළ කොපමණ පිරිසක් සිටියේද යන්න මෙතෙක් පැහැදිලි නැත.
සරණාගත සහන සහ නැවත පදිංචි කිරීමේ කොමසාරිස් මොහොමඩ් මිසානූර් රහ්මාන් මහතා ප්‍රකාශ කළේ, පස්වලට යටවී තිබූ පාසල් කුටියෙන් පුද්ගලයින් 13 දෙනෙකු මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වූ අතර, ඉන් අටදෙනෙකු ඒ වන විටත් මියගොස් සිටි බවයි. දේශීය නිලධාරීන්ට අනුව මියගිය දරුවන් වයස අවුරුදු 7, 8, 11 සහ 12 යන වයස්වල පසුවන්නන් වේ. අනතුරින් බේරාගත් සෙසු දරුවන් පස්දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
පසුගිය ඉරිදා සිට බංග්ලාදේශයට බලපා ඇති දැඩි මෝසම් වැසි හේතුවෙන් කොක්ස් බසාර් කලාපයේ මාරාන්තික නායයෑම් කිහිපයක්ම වාර්තා වී ඇත. මීට පෙර සිදු වූ නායයෑම්වලින් ද ළමුන් පස්දෙනෙකු ඇතුළුව රෝහින්ග්‍යා සරණාගතයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීහු පවසති.
මියන්මාරයේ හමුදා මර්දනයෙන් බේරීම සඳහා පළා ආ ලක්ෂ 10 කට අධික රෝහින්ග්‍යා ජනතාවක් ලොව විශාලතම සරණාගත ජනාවාසය වන කොක්ස් බසාර් හි ජීවත් වෙති. එහි වෙසෙන බහුතරයක් මුස්ලිම් වැසියන් වන රෝහින්ග්‍යා වැසියන්ට මියන්මාර රජය විසින් පුරවැසිභාවය අහිමි කර ඇති අතර, ඔවුන් බංග්ලාදේශයේ කඳු බෑවුම්වල උණ බම්බු සහ ටාපොලින්වලින් සකස් කළ තාවකාලික නිවාසවල ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වෙති.
ඉදිරි දින කිහිපය තුළද ප්‍රදේශයට තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති අතර, තවත් නායයෑම් සහ ගංවතුර අවදානම් පවතින බැවින් ඉහළ අවදානම් කලාපවල සිටින පවුල් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටියි.



