31.1 C
Galle

මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට

Published:

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති අතර, මියගිය අය අතර ඉන්දීය ජාතික රැඳවියෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ වඩාත් බිහිසුණුම ගැටුමක් ලෙස විදෙස් මාධ්‍ය මඟින් පෙන්වා දී ඇති මෙම ඛේදවාචකයෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ගැටුමෙන් තුවාල ලැබූ තවත් 100කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසුවන 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතිකයෙකි. මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, සිද්ධිය පිළිබඳ වාචික සටහනක් (Note Verbale) ඉන්දීය දූත මණ්ඩලය මඟින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවා ඇති බව වාර්තා වේ. මියගිය ඉන්දීය ජාතිකයා මෙන්ම සෙසු ඉන්දීය ජාතික සිරකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට ඉන්දීය මාධ්‍ය ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීම් කර තිබුණ ද ඒ පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නොමැත.

කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවයක නිරත වී සිටියහ. කෙසේ වෙතත්, මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර, ක්‍රමානුකූලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේය.

ඒ අනුව, ඊයේ (08) දිනයේදී අදාළ කාන්තා රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙලෙස මාරු කර යැවූ පිරිස අතර විදේශීය කාන්තා රැඳවියන් පිරිසක් ද වන බව සඳහන්ය.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමේ කටයුතු ද තවදුරටත් සිදුවන අතර, එහි පවතින පහසුකම් පිළිබඳ සොයා බලා එම මාරු කිරීම් සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට රැඳවියන් 1,200ක පමණ පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවමින් පවතින අතර තවදුරටත් රැඳවියන් 1,000ක පමණ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටිති.

බන්ධනාගාර 3ක සිදුවූ මරණ ගැන පොලිස් විමර්ශන

අඟුණුකොළපැලැස්ස, බූස්ස සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී රැඳවියන් තිදෙනෙකු මියයාමේ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ බන්ධනාගාර අයත් පොලිස් ස්ථාන මඟින් එම විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

මෑතකදී මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් දෙදෙනෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි. මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳවියෙකු සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. මෙම සැකකටයුතු මරණ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුවේ.

Related articles

spot_img
error: Content is protected !!