මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ මාරාන්තික ගැටුමෙන් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට වධහිංසා සහ අමානුෂික සැලකීම් සිදුවී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) දැඩි අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නිල උපදෙස් නිකුත් කරමින්, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඉන් අනතුරුව අනෙකුත් බන්ධනාගාරවල වාර්තා වූ සිදුවීම් පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කළ බව නිවේදනය කර ඇත.
එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ද යොමු කර ඇත.
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන් හමුවී ඇති අතර, බන්ධනාගාර බලධාරීන් සමඟ ද රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද ප්‍රකාශ කර ඇත.
මාරු කළ රැඳවියන්ට වධහිංසා කළ බවට චෝදනා
මානව හිමිකම් කොමිසම පවසන්නේ, මීගමුව බන්ධනාගාරයෙන් අඟුණුකොළපැලැස්ස, බූස්ස, මඩකලපුව, දුම්බර, යාපනය සහ වැලිකඩ බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට වධහිංසා සහ අමානුෂික සැලකීම් සිදුව ඇති බවට 2026 ජූලි 7 වැනිදා රාත්‍රියේ තමන්ට තොරතුරු ලැබුණු බවයි.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාර භාරයේ සිටි එක් රැඳවියෙකු මියගොස් ඇති බවට ද වාර්තා වී ඇති බව කොමිසම සඳහන් කරයි.
මෙම තොරතුරු ලැබීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමේ හදිසි ප්‍රතිචාර ඒකකයක් එදින රාත්‍රී 8.30ට පමණ වැලිකඩ බන්ධනාගාරයට ගියද, රාත්‍රී කාලය බැවින් ඇතුළුවීමට අවසර ලබාදිය නොහැකි බව ප්‍රධාන ජේලර්වරයා පවසා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ඕනෑම වේලාවක බන්ධනාගාරවලට ඇතුළු වී පරීක්ෂා කිරීමේ නීතිමය බලය කොමිසමට ඇති බව එම නිවේදනයේ අවධාරණය කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට උපදෙස් මාලාවක්
මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ,
- සියලු බන්ධනාගාරවලට කොමිසමේ නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබාදීම,
- විශේෂයෙන් මීගමුවෙන් මාරු කළ රැඳවියන්ට වධහිංසා හෝ පළිගැනීම් සිදු නොවන බව සහතික කිරීම,
- රැඳවියන්ගේ සැලකීම සම්බන්ධ සියලු සාක්ෂි ආරක්ෂා කිරීම,
- අදාළ චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වගකිවයුතු නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම,
- මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට සම්පූර්ණ සහයෝගය ලබාදීම යන කරුණු සම්බන්ධයෙනි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සිදුකළ ජාත්‍යන්තර ඉල්ලීම
මේ අතර, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ද මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ස්වාධීන හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
දකුණු ආසියාව භාර නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ බාබු රාම් පන්ට් මහතා ප්‍රකාශ කර ඇත්තේ, මාරු කළ රැඳවියන්ට වධහිංසා සහ අමානුෂික සැලකීම් සිදු වූ බවට එල්ල වන චෝදනා ඉතා බරපතළ බවයි.
රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, සිද්ධියට අදාළ සියලු මරණ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසයි.
එමෙන්ම මානව හිමිකම් කොමිසමට බන්ධනාගාර වෙත සම්පූර්ණ ප්‍රවේශය ලබාදිය යුතු අතර, නීතිඥයන්ට තම සේවාදායකයන් හමුවීමටත්, ඥාතීන්ට රැඳවියන් බැලීමටත්, ප්‍රතිකාර අවශ්‍ය රැඳවියන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම සංවිධානය ඉල්ලා සිටියි.
බන්ධනාගාර පද්ධතියේ පැරණි ගැටලු නැවත මතු වෙයි
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පෙන්වා දෙන්නේ, මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ දිගුකාලීන ගැටලු නැවතත් ඉස්මතු කරන බවයි.
අධික තදබදය, නඩු විභාග අවසන් නොවූ රැඳවියන් දිගු කාලයක් රඳවා තැබීම සහ දුර්වල බන්ධනාගාර තත්ත්වයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් ද මීට පෙර අවධානය යොමු කර තිබූ බව එම සංවිධානය සිහිපත් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.



