27.1 C
Galle

රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට

Published:

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට සිදුව ඇති ඉරණම පිළිබඳව තවත් එක් කථාවක් පමණක් නොවේ. එය සාධාරනත්වය, සමානාත්මතාවය, යුක්තිය පමණක් නොව රාජ්‍ය දේපල ද අවභාවිතා කරමින් සිදුකරන දැවැන්ත වංචාවක එක් පරිච්ඡේදයක් බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතී. එසේම මෙය පරිපාලනමය ගැටලුවකට එහා ගිය, රාජ්‍ය දේපළ මංකොල්ලයකට එරෙහි වූ ගැහැනියකගේ කඳුළු කතාවකි.

රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියව මේ වන විට පරිපාලන සේවා සංචිතයට (Pool) අනුයුක්ත කර ඇති අතර, එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි දඩයමක් බවට කරුනු හෙළිවී තිබේ.

අප විසින් සිදුකළ කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ, ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මහත්මිය මීට පෙර 2023 වසරේදී ද දේශපාලන බලපෑම් හේතුවෙන් පරිපාලන සේවා සංචිතයට (Pool) අනුයුක්ත කර තිබූ බවත්, එම අවස්ථාවේදී නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ තම ස්ථාවරය තහවුරු කරමින් රජයේ අවභාවිතයට ලක්ව තිබූ දේපළ යළි ආරක්ෂා කර ගැනීමට ඇයට හැකිව තිබූ බවත්ය. එහෙත් මෙවර ඇය පරිපාලන සේවා සංචිතයට අනුයුක්ත කිරීමට මූලික වී ඇත්තේ දේශපාලනඥයන් නොව, රජයේම ඇතැම් නිලධාරීන් බවට හෙළිවී ඇත. ඒකපාර්ශ්වික වාර්තා මත පදනම්ව, විධිමත් විමර්ශනයක් හෝ ඇයගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීමට සාධාරණ අවස්ථාවක් ලබා නොදී මෙම තීරණය ගෙන ඇති බවත්, එය රාජ්‍ය සේවයේ යහපාලන මූලධර්මවලට පටහැනි ක්‍රියාවලියක් බවත් පෙනී යයි.

බිලියන ගණනක දේපළ සුරැකීමේ සටන

2023 ජුනි මාසයේදී ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස වැඩ භාරගත් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය, වසර ගණනාවක් තිස්සේ විවිධ පෞද්ගලික සහ දේශපාලන පාර්ශ්වයන්ගේ පාලනයට නතු වී තිබූ බිලියන ගණනක රජයේ ඉඩම් සහ දේපළ රැසක් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

වසර විස්සකට ආසන්න කාලයක් පෞද්ගලික පරිහරණයට යොදාගෙන තිබූ ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානය දැඩි නීතිමය සටනකින් පසු රජයට පවරා ගැනීමට හැකි වූයේ ඇයගේ සෘජු මැදිහත්වීම හේතුවෙනි. මීට අමතරව අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය, පුස්සැල්ලාව බස් නැවතුම්පොළ, ගම්පළ බස්නැවතුම්පළ, නාමල්වල වෙල්යාය ආශ්‍රිත අක්‍රමවත් සංවර්ධනය සහ අම්බුලුවාවට පවරා ගැනීමට සූදානම් වූ ගම්පල නගර මධ්‍යයේ පිහිටි සමූපකාර සමිති ගොඩනැගිල්ල ඇතුළු රජයේ ඉඩම් හා දේපල රැසක සිදුවූ දූෂණවලට එරෙහිව ඇය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. ඇයට එරෙහිව සංවිධානාත්මක පරිපාලන දඩයම ආරම්භ වූයේ මේ සියලු දූෂණ වංචා හෙළිදරව් කිරීමෙන් පසුව බව පෙනෙන්නට තිබේ.

කාර්යාලයේ නැති අතරේ සිදුවූ “යතුරු පැහැරගැනීම”

මෙලෙස වංචාවන්ට එරෙහිව නැඟී සිටි නිසා, ඉතා සැලසුම්සහගතව ප්‍රාදේශීය ලේකම්වරිය අපහසුතාවයට පත් කිරීමට ඇතැම් නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිකුල්සහගතය. 2026 ජුනි 23 වැනිදා ප්‍රාදේශීය ලේකම්වරිය කාර්යාලයේ නොසිටි අවස්ථාවක, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ ගබඩා කාමරවල යතුරු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.

මූල්‍ය රෙගුලාසිවලට අනුව සිදු කළ යුතු කිසිදු ඒකාබද්ධ තොග පරීක්ෂාවක් (Joint Verification) සිදු නොකර, ආයතන ප්‍රධානියා ද නොමැති අවස්ථාවක ගබඩා විවෘත කර, පසුව ඒ සඳහා මාධ්‍ය ආයතන ගෙන්වාගෙන රංගනයක නිරත වීමට ඔවුන් කටයුතු කර ඇත. මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරිය ගම්පොළ පොලිසියට ද නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, ඇය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිලි පවා යටපත් කිරීමට ඇතැම් ඉහළ පාර්ශ්ව උත්සාහ කරන බවට ඇය සැක පළ කරයි.

“දිට්වා” සුළි කුණාටු සහන සහ යතුරු අර්බුදයේ ඇතුළු පැත්ත

“දිට්වා” සුළි කුණාටු ව්‍යසනයෙන් පසු ගම්පොළ ප්‍රදේශය විශාලා මහනුවරක් වැනි අතිශය බිහිසුණු තත්ත්වයකට පත්ව තිබූ අතර, සහන සේවා කටයුතු වලදී මෙන්ම අධාර බෙදා දීමේදී ද බරපතළ පරිපාලන ගැටලු ඇතිවී තිබිණ.

ආපදා අවස්ථාවේදී උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආධාර ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා වෙනත් අමතර ඉඩ පහසුකම් නොතිබීම හේතුවෙන් සමස්ත කාර්යාල පරිශ්‍රයම සහනාධාර ගබඩාවක් බවට පරිවර්තනය කිරීමට සිදුව තිබිණ. ප්‍රදේශයේ පවුල් 8,000ක් සරණාගත කඳවුරුවල රැඳී සිටි අතර, තවත් පවුල් 20,000කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටි බැවින් යුද හමුදාව, පොලීසිය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු සියලුම සේවා අංශ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් දිවා රෑ නොබලා මාස තුනක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබේ.

කෙසේ වෙතත්, මෙම මහා පරිමාණ සහන මෙහෙයුම සිදුවී මාස හතක් ගතවනතුරුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ නොමැති බව අනාවරණය වේ. ඉතිරි වූ සහල් සහ සැමන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කාර්යාලයේ වනිතා සංවර්ධන ඒකකය හරහා දෛනිකව බෙදාහැරීමට කටයුතු කර ඇත. එහිදී මාධ්‍ය මඟින් “ගුල්ලන් ගැසූ සහල්” ලෙස ප්‍රචාරය කළ සහල් තොග කාර්යාලය වෙත ලැබෙන අවස්ථාවේදීම කුඩා සුදු පැහැති සතුන් විශේෂයක් සිට ඇති බව කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එය වැඩිදුරටත් පැහැදිලි වන්නේ කිසිදු ප්‍රතිලාභියෙකු විසින් ගුල්ලන් සහිත සහල් බෙදාදුන් බවට මේ දක්වා පැමිණිලි කර නොමැති වීම හේතුවෙනි. කෝටි ගණනක ආහාර ද්‍රව්‍ය බෙදා නොහැර සඟවා තබාගෙන සිටි බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව අනාවරනය වී ඇති අතර, ගම්පල ජනතාව පවසන්නේ නිලධාරීන් කැපවීමෙන් වැඩකළ ආකාරය තමන් හොඳින්ම දන්නා බවයි.

මෙම සිදුවීම් මාලාව හේතුවෙන් වත්මන් රජය ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ජනතාව වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය ජූනි 23 වනදා අභ්‍යන්තර විගණන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්වරිය සිට ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේය. එහිදී විගණන නිලධාරීන් කිසිදු නිල තොග ලේඛන පරීක්ෂාවකින් තොරව අත්තනෝමතික ලෙස ගබඩාවල යතුරු රැගෙන ගොස් ඇති අතර, පසුදින අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් එම යතුරු නැවත භාරදීමට පැමිණ තිබේ. නීති විරෝධී ලෙස යතුරු රැගෙන යාම නිසා ප්‍රාදේශීය ලේකම්වරිය ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම අවස්ථාවේදී විගණන නිලධාරීන් මාධ්‍ය ද කැටුව පැමිණ විශාල ආන්දෝලනයක් සහ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත. අවසානයේදී, තමන්ගේ වැරදි වසාගැනීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම්වරිය “රාජකාරියට බාධා කළේය” යන අසත්‍ය චෝදනාව නගමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය අවභාවිතය සහ ඒකපාර්ශ්වික නඩු ඇසීම

මෙම සමස්ත අර්බුදය දෙස බැලීමේදී ඇතැම් මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරය පිළිබඳව බරපතළ විවේචන සහ චෝදනා එල්ල වී තිබේ. චෝදනාවට ලක්වන පාර්ශ්වයෙන් කිසිදු විමසීමක් හෝ නිල අදහස් ලබාගැනීමක් නොකර, විරුද්ධ පාර්ශ්වයේ තොරතුරු පමණක් පදනම් කරගෙන ඇතැම් මාධ්‍ය ආයතන විසින් ඒකපාර්ශ්වීය ලෙස මෙම ප්‍රවෘත්ති වාර්තා කර ඇති බව අනාවරණය වේ. පුවත්පත් ආචාරධර්ම සහ මූලධර්මවලට අනුව චෝදනාවට ලක්වන පාර්ශ්වයට ද තමන්ගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම අත්‍යවශ්‍ය වුවද, මෙහිදී එම මූලධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වී ඇත. මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරිය වසර ගණනාවක් පුරා උපයාගත් වෘත්තීයමය කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇත. කෙසේ වෙතත්, ඇයට එරෙහි චෝදනා පිළිබඳ සත්‍ය තත්ත්වය අනාවරණය විය යුත්තේ මෙවැනි මාධ්‍ය විනිශ්චයන් හෝ සංදර්ශනවලින් නොව, ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් නිල විමර්ශනයක් මඟින් පමණක් බව පැහැදිලිය.

ලැබී ඇති තොරතුරුවලට අනුව, ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ජාතික අපරාධයක් සිදුකර ඇති බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය චෝදනා නගමින් සිටියද, සැබවින්ම ආයතනයක ගබඩා කාමරවල යතුරු බලහත්කාරයෙන් රැගෙන යාම සහ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හරහා බරපතළ අපරාධ වරදක් සිදුකර ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිලධාරීන් විසින් බව පැවසුවොත් එය නිවැරදිය. මීට අමතරව, දිස්ත්‍රික් ලේකම්වරයා (දිසාපති) තමන් සතු නිල බලය අවභාවිත කරමින්, මෙම විගණන නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියාවන් සහ ඔවුන්ට එරෙහිව පවතින විමර්ශන යටගැසීමට උත්සාහ කරන බව ද අනාවරණය වී ඇත.

රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ඍජුව පෙනී සිටි ප්‍රාදේශීය ලේකම්වරියව එම ධූරයෙන් ඉවත් කිරීම මෙම සමස්ත පරිපාලනමය දඩයමේ මූලිකම අරමුණ වී ඇති බව පෙනී යයි. ඇයව එම තනතුරෙන් ඉවත් කළහොත්, ඇය විසින් පෞද්ගලික මැදිහත්වීමෙන් නඩු පවරා නැවත රජයට ලබාගත් බිලියන ගණනක වටිනා රාජ්‍ය දේපළ හා ඉඩම්, දේශපාලන හිතවතුන් සහ පෞද්ගලික මාෆියාවන් විසින් නැවතත් බරපතළ ලෙස අවභාවිත කිරීමට ඉඩ ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මෙම තත්ත්වය හමුවේ වත්මන් පරිපාලන අර්බුදය නිරාකරණය කරගැනීමට නම්, ප්‍රථමයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරියගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගැනීම අත්‍යවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් මඟින් ඇයට කරුණු ඉදිරිපත් කිරීමට නිසි අවස්ථාවක් ලැබිය යුතුය.

මහජන දේපළ කොල්ලකෑමට සහ වංචා දූෂණවලට එරෙහිව අවංකව හා සෘජුව පෙනී සිටින රාජ්‍ය නිලධාරීන්ට, අද වන විට දේශපාලන අධිකාරියෙන් පමණක් නොව දූෂිත වළල්ලට සම්බන්ධ සෙසු රාජ්‍ය නිලධාරීන්ගෙන්ම දරුණු ලෙස හිරිහැර, පීඩන සහ පරිපාලනමය දඩයම් එල්ල වීම මුළු මහත් ජාතියේම අවාසනාවකි.

රටේ පොදු සම්පත් ආරක්ෂා කිරීමට වෙහෙසෙන මෙවැනි සෘජු නිලධාරීන් දිරිමත් කරනු වෙනුවට, පටු පෞද්ගලික ලාභාපේක්ෂාවන් සහ වංචාවන් වසාගැනීම වෙනුවෙන් ඔවුන්ව වෘත්තීයමය වශයෙන් තනිකර දමා දඬුවම් පැමිණවීමේ අශිෂ්ට සංස්කෘතියක් වර්තමාන රාජ්‍ය පරිපාලනය තුළ නිරන්තරයෙන් දැකගත හැකිය.

නීතියේ ආධිපත්‍යය බිඳදමමින් සහ ස්වාභාවික යුක්තියේ මූලධර්මයන් පවා පසෙක ලමින්, දූෂිතයන් සුරැකීම සඳහා රාජ්‍ය බලය හා පරිපාලනමය විධිවිධාන අත්තනෝමතික ලෙස අවභාවිත වන මෙවැනි වටපිටාවක් රට තුළ දිගින් දිගටම පැවතුණහොත්, රාජ්‍ය සේවයේ පවිත්‍රතාවය මෙන්ම රට යහපත් සහ ප්‍රගතිශීලී දිශානතියකට ගමන් කරවීම හුදෙක් සිහිනයක්ම පමණක් වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!