29 C
Galle

ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට

Published:

අලුත්ගම ගනේගම පුරාණගම පන්සල ආසන්නයේ ඩිපෝව හරස් දුම්රිය මාර්ගයේදී අද (23) සවස සිදුවූ බිහිසුණු අනතුරකින් 22 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අලුත්ගම සිට දර්ගා නගරය බලා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මරදාන දුම්රිය ස්ථානයෙන් අද සවස පිටත් වූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අලුත්ගම පොලිසිය සඳහන් කරයි.

අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ මීගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ත්‍රීරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස් කරමින් දැඩි විරෝධතාවක නිරත වූයේ අදාළ දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂක ගේට්ටුවක් නොමැති බවට චෝදනා කරමිනි.

විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ එම ස්ථානයේ ක්‍රියාත්මක වන්නේ වර්ණ සංඥා පද්ධතියක් සහ අනතුරු ඇඟවීමේ නාදයක් පමණක් බවත්, මීට පෙරද එම ස්ථානයේ අනතුරු රැසක් සිදුව ඇති බවත්ය.

අනතුරු වැළැක්වීම සඳහා ආරක්ෂක ගේට්ටුවක් හෝ වෙනත් නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබුණද, මෙතෙක් ඊට විසඳුමක් ලබාදී නොමැති බවටද ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

විරෝධතාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබූ අතර, පසුව අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්වී දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ.

සතියක් ඇතුළත මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදීම සඳහා සාකච්ඡාවක් පවත්වන බවට ලැබුණු පොරොන්දුවක් මත ප්‍රදේශවාසීන් විරෝධතාව අවසන් කර ඇති අතර, මේ වනවිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!