ජපානයේ උසම කන්ද වන ෆූජි තරණය කරමින් සිටියදී මහන්සි බව පැවසූ සිය 7 හැවිරිදි පුතුට මීටර් 2,000කට (අඩි 6,500ක්) වඩා උසින් පිහිටි ස්ථානයක රැඳී සිටින ලෙස පවසා, ඔහු තනිකර දමා වැඩිමල් පුතා සමඟ ඉහළට ගිය 48 හැවිරිදි පියෙකුට ජපන් පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.
තද මීදුම සහ වර්ෂාව සහිත අයහපත් කාලගුණය මධ්‍යයේ, කඳු නැගීමේ මාර්ගයේ 6 වන නැවතුම ආසන්නයේ තිබූ බංකුවක් මත මෙම කුඩා පිරිමි දරුවා තනිවම වාඩි වී සිටිනු කඳුකර නවාතැන් කුටියක සේවකයන් පිරිසක් විසින් දැක පොලිසිය දැනුවත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය, දරුවා සිටි ස්ථානයේ සිට පැය 3ක පමණ දුරින් පිහිටි 7 වන සහ 8 වන නැවතුම් අතරදී පියා සොයාගෙන තිබේ. පසුව පියා නැවත දරුවා වෙත කැඳවාගෙන විත් ඇති අතර, ඒ වන විට පැය 8ක කාලයක් තනිවම රැඳී සිටි දරුවා දැඩි ලෙස වෙහෙසට පත්ව අඩමින් සිටි බව වාර්තා වේ.
පොලිස් නිලධාරීන් පියාට අවවාද කරමින් පවසා ඇත්තේ, “කන්ද තරණය කිරීමේ අරමුණ අත්හැරීමට සිදු වුවද, මෙලෙස කුඩා දරුවෙකු තනිකර දමා යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි” බවයි. සිය අලුතින් ගත් ඉක්මන් තීරණය පිළිබඳව පියා පොලිසිය හමුවේ කණගාටුව පළ කර ඇත.
ෆූජි කන්දේ අනතුරු
මීටර් 3,776ක් (අඩි 12,389ක්) උසැති, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන සක්‍රීය ගිනි කන්දක් වන ෆූජි කන්ද තරණය කිරීමේදී මෑත කාලයේ මෙවැනි නොසැලකිලිමත් සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබේ.
පසුගිය ජූලි මාසයේදී කන්ද තරණය කිරීමට උත්සාහ කළ 99 හැවිරිදි කාන්තාවක් ඇද වැටී කොන්දට සහ උකුල් ඇටයට හානි සිදුවීමෙන් මුදාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගන්නා ලදී.
පසුගිය වසරේදී, නිල නොවන කාලසීමාවකදී කන්ද නැඟීමට ගිය 27 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු, තමාට නැතිවූ ජංගම දුරකථනය සෙවීමට නැවත කන්දට ගොස් දින හතරක් ඇතුළත දෙවතාවක්ම මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට සිදු විය.
ජපානයේ පූජනීය කඳු තුනෙන් එකක් වන ෆූජි කන්ද නැරඹීමට සහ තරණය කිරීමට වසරකට ලක්ෂ දෙකකට (200,000) අධික පිරිසක් පැමිණෙන අතර, අධික තදබදය පාලනය කිරීම සඳහාද බලධාරීන් පියවර ගැනීමට සිදුවී ඇත.



