29.3 C
Galle

පොලිසියට අවශ්‍ය චීන ජාතිකයන් තිදෙනකු සොයා මහජන සහාය පතයි

Published:

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

පොලිසිය සඳහන් කළේ පසුගිය ජූලි 23 වැනිදා කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනකුට පහරදීමක් සිදුව ඇති අතර, පසුව ඔවුන්ගෙන් එක් අයකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරන අතර, අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයන් දෙදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, පොලිසිය ඔවුන් ලෙස හඳුනාගෙන ඇත්තේ චෙන් හොංබින්, ලු ගාඕ සහ ෂියෑං හුවාචෙන්ග් යන අයයි.

පොලිසිය පවසන්නේ සැකකරුවන් තිදෙනා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම වීසා කාලය අවසන් වී තිබියදීත් ඔවුන් තවදුරටත් මෙරට රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් ගුවන් මාර්ගයෙන් හෝ මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිටව යාමට උත්සාහ කළ හැකි බැවින්, ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු වෙත පොලිසියේ අවධානය යොමු කර ඇති බවද සඳහන් වේ.

අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරක් හෝ ඔවුන් රැඳී සිටින ස්ථානය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 071 8591735 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් විමර්ශන සඳහා සහාය වන ලෙසද පොලිසිය දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!