27 C
Galle

සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය

Published:

චීනයේ ගිනිකොනදිග ෆුජියෑන් (Fujian) පළාතේ ජින්ජියෑන් (Jinjiang) නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සපත්තු කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා (Xinhua) වාර්තා කරයි.

ලෝකයේ ක්‍රීඩා සපත්තු නිෂ්පාදනයෙන් 20%ක්ම සිදුකෙරෙන බැවින් ජින්ජියෑන් නගරය හැඳින්වෙන්නේ චීනයේ “සපත්තු අගනුවර” ලෙසය. එහි පිහිටි ‘හුයිටෙන්ග්’ (Huiteng Footwear) සපත්තු කර්මාන්තශාලාව තුළ බ්‍රහස්පතින්දා දහවල් 12:00 ට (දේශීය වේලාවෙන්) පමණ මෙම ගින්න හටගෙන තිබේ.

ෂින්හුවා පුවත් සේවය නිකුත් කළ දර්ශනවලට අනුව, ගොඩනැගිල්ලෙන් විශාල ලෙස කළු දුමාරයක් මතුවන ආකාරයත්, දැඩි ලෙස බියට පත් සේවකයින් පිරිසක් බේරාගැනීම අපේක්ෂාවෙන් ගොඩනැගිල්ලේ වහලය මත සිරවී සිටින ආකාරයත් දැකගත හැකි විය.

CCTV රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ ගින්න නිවීම සහ සහන සේවා සඳහා සිය ගණනක මුදවාගැනීමේ කණ්ඩායම් වහාම එම ස්ථානයට යොමු කළ බවයි. එහිදී කර්මාන්තශාලාව තුළ සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට සමත්ව තිබුණද, තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

මූලික විමර්ශනවලට අනුව, දැවෙනසුළු ද්‍රව්‍ය ගබඩා කර තිබූ කර්මාන්තශාලාවේ බිම් මහලෙන් ගින්න ආරම්භ වන්නට ඇති බවට සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් කර්මාන්තශාලාවේ හිමිකාරීත්වයට සම්බන්ධ නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සමාගමේ බැංකු ගිණුම් ද අත්හිටුවීමට පියවර ගෙන ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) මහතා ප්‍රකාශ කළේ මෙම ගින්නෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇති බවත්, මීට වගකිවයුතු සියලුම පාර්ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා “තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු” බවත්ය.

පසුගිය නොවැම්බර් මාසයේදී හොංකොං හි මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 168 දෙනෙකු මියයාමේ ඛේදවාචකයෙන් පසුව, චීනය පුරා උස් ගොඩනැගිලිවල ගිනි ආරක්ෂණ ක්‍රමවේද දැඩි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක මෙම අනතුර සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!