27.1 C
Galle

පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි

Published:

ග්‍රීසියේ තෙසලෝනිකි නුවර සිට ජර්මනියේ මෙමින්ගන් බලා පියාසර කරමින් තිබූ ‘රයන්එයාර්’ (Ryanair) ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන යානයක, ගුවනේදී ජනේලයක් ගැලවී යාමෙන් මගියෙකු හිස සහ උරහිස් කොටසින් යානයෙන් පිටතට ඇදී යාමේ අතිශය භයානක අනතුරක් සිදුව තිබේ.

යානය ගුවන්ගත වී මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළදී අඩි 9,000ක (මීටර් 2,700ක) ශීඝ්‍ර බැසීමක් සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රබල පිපිරුම් හඬක් ඇසුණු බව මගීහු පවසති.

යානයේ ඇති වූ අධික පීඩන විචලනය (Decompression) හේතුවෙන් 61 හැවිරිදි සර්බියානු ජාතිකයෙකු ජනේලයෙන් පිටතට ඇදී ගොස් ඇත. කෙසේ වෙතත්, ඔහු අසුන් පටි පැළඳ සිටීමත්, ඔහුගේ බිරිඳ වහා ක්‍රියාත්මක වී මිනිත්තු පහක් පමණ ඔහුගේ දෙපාවලින් දැඩිව අල්ලාගෙන සිටීමත් නිසා ඔහු යානයෙන් ඉවතට විසි වී නැත. පසුව අනෙකුත් මගීන්ගේද සහාය ඇතිව ඔහුව නැවත යානය තුළට ඇද ගැනීමට සමත් වී තිබේ.

“අධික පීඩනය නිසා හුස්ම ගැනීමට පවා අපහසු වුණා. තුවාල ලැබූ පුද්ගලයා ලේ ගලමින් සිටි අතර, කම්පනය සහ ඔක්සිජන් නොමැතිකම නිසා කිහිප වරක්ම සිහිය නැති වුණා,” යැයි සොෆියා නමැති මගියෙකු මාධ්‍යයට ප්‍රකාශ කළාය.

තුවාල ලැබූ මගියා දැනට ග්‍රීසියේ රෝහලක ප්‍රතිකාර ලබන අතර, ඔහු දැඩි කම්පනයකින් පසුවුවද සිහි බුද්ධියෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

යානයේ එන්ජිමෙන් ගැලවී ගිය කොටස් වැදීමෙන් ජනේලය බිඳී ගිය බවට මගීන් චෝදනා කළද, රයන්එයාර් සමාගම ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් කර නැත. ඔවුන් සඳහන් කළේ පියාසර කරමින් තිබියදී ජනේලයක් ගැලවී යාම හේතුවෙන් යානය නැවත තෙසලෝනිකි ගුවන් තොටුපළ වෙත හරවා ගොඩබස්වා ඇති බවයි.

අවුරුදු 18ක් පැරණි මෙම යානය රයන්එයාර් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන මෝල්ටා එයාර් (Malta Air) විසින් ක්‍රියාත්මක කරන ලද්දකි.

හෙලෙනික් ගුවන් හා දුම්රිය ආරක්ෂණ විමර්ශන අධිකාරිය (Hellenic Air and Rail Safety Investigation Authority) සහ අයර්ලන්ත ගුවන් සේවා අධිකාරිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!