ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, මිනිසෙකුට පහර දී ඝාතනය කිරීමේ (Lynching) සිද්ධියකට වැරදිකරුවන් වූ පුද්ගලයන් 14 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ මුස්ලිම් ජාතික විනිසුරුවරියක ඉලක්ක කරගනිමින් දැඩි සමාජ මාධ්‍ය ප්‍රහාර සහ මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
මධ්‍ය ප්‍රදේශ්හි අතිරේක දිස්ත්‍රික් සහ මහාධිකරණ විනිසුරු තබස්සුම් ඛාන් (Tabassum Khan) මහත්මිය විසින් පසුගිය ජුනි 12 වනදා මෙම ඓතිහාසික තීන්දුව ලබා දෙන ලදී.
2022 වසරේදී, 50 හැවිරිදි නසීර් අහමඩ් නමැති පුද්ගලයා රාත්‍රී කාලයේදී ගවයන් ප්‍රවාහනය කරමින් සිටියදී, තමන් “ගව ආරක්ෂකයන්” (Gau Rakshaks) ලෙස හඳුන්වා ගත් අන්තවාදී හින්දු කණ්ඩායමක් විසින් ඔහුව වටකර පොලුවලින් සහ යකඩ කූරුවලින් අමානුෂික ලෙස පහර දී තිබුණි. එහිදී බරපතළ තුවාල ලැබූ අහමඩ් පසුව මියගිය අතර, ඔහු සමඟ සිටි අනෙක් දෙදෙනා දිවි ගලවාගෙන උසාවිය හමුවේ සාක්ෂි ලබා දුන්හ.
මෙය පැහැදිලිවම මැර පිරිසක් විසින් සිදුකළ ඝාතනයක් (Mob Lynching) බව පවසමින් විනිසුරුවරිය වැරදිකරුවන්ට දඬුවම් නියම කළාය.
නඩු තීන්දුවෙන් පසු, වත්කම් හා දේශපාලන බලය සහිත හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විනිසුරු තබස්සුම් ඛාන් මහත්මියගේ ආගමික අනන්‍යතාවය ඉලක්ක කරගනිමින් දැවැන්ත අපහාසාත්මක ප්‍රචාරයක් ආරම්භ කර ඇත. ඇය මුස්ලිම් ජාතිකයෙකු නිසා හින්දු භක්තිකයන්ට එරෙහිව මෙම තීන්දුව දුන් බවට ඔවුහු චෝදනා කරති.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට එරෙහිව දූෂණ සහ මරණ තර්ජන එල්ල වෙමින් පවතින අතර, එක් වීඩියෝවක සඳහන් වන්නේ දින 10ක් ඇතුළත වැරදිකරුවන් නිදහස් නොකළහොත් රට පුරා “ලේ වැගිරීමක්” සිදුකරන බවයි. ඇතැම් ප්‍රාන්තවල ඇයගේ පඹයන් පුළුස්සා විරෝධතා පවත්වා තිබේ.
“මගේ තීන්දුව නිසා ඇති වූ මෙම අපහාස සහ තර්ජන මාව දැඩි ලෙස කම්පනයට පත් කළා. මා කළේ වරදක්ද කියා මට හිතෙනවා,” යැයි විනිසුරු ඛාන් මහත්මිය ප්‍රකාශ කර ඇත.
මෙම තර්ජන හමුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමය ඇතුළු ප්‍රමුඛ පෙළේ අධිකරණ සංවිධාන රැසක් ඇය වෙනුවෙන් පෙනී සිටිමින් පවසන්නේ, “බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව විනිසුරුවරයෙකුට යුක්තිය ඉටු කිරීමට ඉඩ නොදුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙනු ඇතැයි” යනුවෙනි.
මේ වන විට මධ්‍ය ප්‍රදේශ් මහාධිකරණයේ නියෝගය පරිදි විනිසුරු තබස්සුම් ඛාන් මහත්මියට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ තර්ජන එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.



