තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක සදුදා මධ්‍යම රාත්‍රියෙන් පසුව හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තවත් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් (Anutin Charnvirakul) මහතා තහවුරු කරයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී එහි සිටි පිරිස් ගිනි ජාලා මැදින් ප්‍රධාන දොරටුවෙන් බේරී පැන යාමට උත්සාහ කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එහිදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරුවලට ගිනි ඇවිලී තිබූ අතර තවත් පිරිසක් බේරී පැන යාමට යාමේදී එකිනෙකා මත ඇද වැටෙනු දක්නට ලැබුණි.
දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව මියගිය 27 දෙනා අතර පිරිමින් 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින බව තහවුරු වී ඇත. තුවාල ලැබූ 60 කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව තායිලන්තයේ ‘තයිරාත්’ (Thairath) පුවත් සේවය වාර්තා කරයි.
බැංකොක් නුවර චතුචක් (Chatuchak) දිස්ත්‍රික්කයේ පිහිටි ‘රොන්ග් බියර් නා ලැට් ප්‍රාවෝ’ (Rong Beer Na Lat Phrao) නමැති මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානය ප්‍රදේශයේ බෙහෙවින් ජනප්‍රිය ස්ථානයකි.
ගින්න හටගත් අවස්ථාවේදී එහි සංදර්ශනයක නිරතව සිටි සංගීතඥයෙකු උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විදුලි පුවරුවේ (Cut-out switch) ඇති වූ කෙටි පරිපථයකින් ගින්න හටගෙන පසුව පිපිරීමක් සමඟ එය ඉතා වේගයෙන් පැතිර ගිය බවයි.
“බොහෝ පිරිසකට පිටතට යාමට නොහැකි වී තිබෙන්නේ ඔවුන් දුමාරයෙන් සහ ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලේ පිටුපස ඇති වැසිකිළි තුළට ගොස් සැඟවීමට උත්සාහ කිරීම නිසයි. සොයාගත් මළසිරුරු බහුතරයක් තිබුණේ ඒ තුළයි,” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි බැංකොක් ආණ්ඩුකාර චැට්චාර්ට් සිට්ටිපුන්ට් (Chatchart Sittipunt) මහතා ප්‍රකාශ කළේ, සමාජ ශාලාව අභ්‍යන්තරයේ අලංකරණය සඳහා යොදාගෙන තිබූ පහසුවෙන් ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය (Flammable interior decorations) නිසා ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි.
එමෙන්ම, එහි තිබූ හදිසි පිටවීමේ දොරටු (Fire exits) අවහිර වන සේ රසකැවිලි සහ අනෙකුත් භාණ්ඩ අලෙවි කරන මේස තබා තිබීම හේතුවෙන් අනතුරේ බිහිසුණු බව වැඩි වී ඇති බවට මූලික තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් නිල විමර්ශනයක් පවත්වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ගිනි නිවන භටයන් පැමිණ විනාඩි තිහක් වැනි කෙටි කාලයක් තුළ ගින්න පාලනය කිරීමට සමත් වුවද, ඒ වන විටත් සිදුව තිබූ විනාශය අතිමහත්ය. ගින්නට හේතුව සෙවීම සඳහා තායිලන්ත ආරක්ෂක අංශ මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



